Language Switcher

V2025

මිරුසුවිල් වරදකරුගේ නිදහස අවලංගු කරවන්න : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

මිරුසුවිල්හි සිදුකළ සමුල ඝාතනයකට වරදකරු වු හමුදා සෙබලකු ජනාධිපතිවරයා විසින් නිදහස් කර යැවීමට එරෙහිව රටේ ඉහලම අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සමාව දී නිදහස් කර යැවීමට ගත් තීරණය බල රහිත කරන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ලබා දුන් දඬුවම, 2019 වර්ෂයේ අප්‍රේල් මස, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා මුර්ධු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සනාථ කර ඇති බැවින් ජනාධිපති දුන් සමාව වඩාත් බරපතල බව පෙත්සමින් පෙන්වා දී තිබේ.

පෝරකයට නියමවී සිටි රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක හමුදා නිලධාරියා හට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගන්නා ලද තීරණය විනිවිද භාවයකින් තොර සහ පිළිගත් නීති සිද්ධාන්ත වලින් තොර බවට පෙත්සම්කරුවන් චෝදනා කර ඇත.

එම නිසා සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට මෙන්ම එම නඩුවේ සාක්ෂිකරුවන් බියගැන්වීම මෙන්ම ඔවුන්ට අගතියක් සිදුවන බවද එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

“නීති විරෝධීයි”

murder mirusuvilඛේදවාචකය වන්නේ සුනිල් රත්නායක විසින් කපා කොටා ඝාතනය කරන ලැබුවන් අතර ඔහුගේ දරුවාගේ වයසේ දරුවකුද සිටීමය.

මිරුසුවිල් සංහාරයේ වැරදිකරු වු රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නිදහස් කර යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට හා ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසටයි.

ඊට අමතරව සිරකරු හට පොදු සමාව ලබා දීමට අදාළව ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පාදක වු ලේඛන පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක ලබා දුන් පොදු සමාව බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙසද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට එල්ලුම් ගසට නියම වී සිටි ගජබා රෙජිමේන්තුවේ හමුදා නිලධාරියෙකු වු රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක ජනාධිපතිවරයා විසින් නිදහස් කර යවනු ලැබුවේ කොරෝනා වයිරස් අවදානමෙන් ජීවිත බේරාගැනීම සඳහා හිරගෙදර තදබදය අඩුකිරීමට සුළු වැරදිකරුවන් කවර කොන්දේසි යටතේ හෝ නිදහස් කරන මෙන් ඉල්ලා අනුරාධපුර රැඳවියන් දියත් කළ උද්ඝෝෂණයකට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතබා ඉපලෝගම කලාකරඹෑව පූගොල්ලාගම කේ. එම්. ඒ. සමන් කුමාර සහ ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව කේ. එල්. ඩී. අසංක පුෂ්ප කුමාර මරුමුවට පත් වී තවත් හයක් තුවාල ලබා රෝහල් ගතවීමෙන් දින පහක් ගතවීමත් සමගය.