ජනතා අයිතිය නසන" මාධ්‍ය නිදහසක් " සමරමුද ?.

ජනතා අයිතිය නසන" මාධ්‍ය නිදහසක් " සමරමුද ?.

අද ( මැයි 03 ) ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය යි.

1993 න් ආරම්භ වූ මෙම සැමරුමට අදට වසර 27 ක් සැපිරේ.

භාෂණය හා ප්‍රකාශනය පිළිබඳ මානව අයිතිය විශ්ව සම්මත කරුණකි. එහෙත් විවිධ රටවල පවතින පාලන ක්‍රම මත, මෙම අයිතිය භුක්ති විඳීමේ සීමාව අඩුවීම හෝ වැඩිවීම තීරණය වේ.

ලෝකයේ පැවැති අනෙකුත් පාලන ක්‍රම වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ගුරු කොට ගන්නා පාලනයක් සහිත රටක , මෙම මානව අයිතිය පරම ලෙස ආරක්ෂා වී පැවතිය යුතු බවට වූ පොදු හැඟීමක් පවතී. එවැනි හැඟීමක් ඇතිවීමට වඩාත්ම තුඩු දුන් හේතුව වන්නේ එකී රටවල මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එම අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස සහතික කර තිබීමයි.

මෙම අයිතිය ශ්‍රී ලංකාව තුළ මුල් වරට සහතික කරනු ලැබුවේ 1972 දී පැනවුණු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වුවද , එය වඩාත් විස්තරාත්මකව ඇතුලත් කර ඇත්තේ 1978 දී පැනවුණු ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි.

එහි සඳහන් වන්නේ " සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් තිබිය යුතුය. " යනුවෙනි.

සැබැවිම එය එසේ වන්නේ දැයි යමෙකු විමසුව හොත්, කෙටිම උත්තරය වන්නේ නැත යන්නය.

ජනමාධ්‍ය නිදහස රටකට සම්පතකි. ඒ පිළිබඳව විවාදයක් නැත. එසේම වගකීමෙන් යුතුව මාධ්‍ය භාවිතයද ඒ තරමටම වැදගත්ය. " ජනමාධ්‍ය නිදහස හා වගකීම යුනු එකම කාසියේ දෙපැත්තයි. " යනුවෙන් ප්‍රකාශ කරන්නේ මේ නිසාය.

මාධ්‍ය නිදහස වගකීමෙන් යුතුව භාවිතා කිරීමට මාධ්‍යවේදියෙකුට හැකි වන්නේ , මාධ්‍යවේදියාගේ විෂයාවබෝධයේ ප්‍රමාණය මතය. විෂයාවබෝධය යනු පොත පතේ දැනුම පමණක්ම නොවන බව පැහැදිලිය.

ජනමාධ්‍ය හා සමාජය අතර ඇත්තේ දැඩි බැඳීමකි. වඩා යහපත් ලොවක් ජනතාවට උදා කිරීමේ උතුම් පරමාර්ථයෙන් ,තම කාලය හා ශ්‍රමය කැප කරන්නෙකු ලෙස කටයුතු කිරීම ජනමාධ්‍යවේදියාගේ වගකීම හා යුතුකමය.

ජනතාව දුබලයෝ නොවෙති. ඔව්හූ පරමාධිපත්‍යයේ හිමිකරුවෝ වෙති.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන පරිච්ඡේදයේ 3 වගන්තියේ සඳහන්වන්නේ මෙසේය.

" ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නො හැක්කේය. පරමාධිපත්‍යයට , පාලන බලතල , මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය. "

මේ අනුව ගත් විට ලංකාවේ ජනතාව යනු , ජනාධිපතිවරු , අගමැතිවරු පත් කරන රජුන් තනන්නෝ වෙති. මැතිවරණ අවස්ථා වලදී තීරණාත්මක බලය ඇත්තේ ඔවුන් වෙතය

ජනතාවට ඇති බලයෙන් නායකයන් පත් කළ පසු, ඒ බලය හිමිවන්නේ පත්කර ගත් නායකයන්ටය. ඉන් පසු ජනතාවට ගරු සැලකිලි අහිමිවනවා පමණක් නොව , නිරන්තර අසාධාරණයන්ට, අක්‍රමිකාවයන්ට හා දූෂණයන්ට ගොදුරු වීමට ජනතාවට සිදුවෙති. පාලකයන්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු ජනතාවට හිමිව තිබූ පරමාධිපත්‍ය යනු ව්‍යවස්ථා පොතට සීමා වන වචනයක් පමණි.

ජනතාවගෙන් බලය ලබාගත් බොහෝ පාලකයෝ , ජනතාවගේ යහපත උදා කරනාවා වෙනුවට තම ආත්ම ලාභය පතා වෙහෙසෙති. ඒ සඳහා කළ හැකි සියලු නොපනත්කම් කරමින් , උපරිම කාලයක් බලයේ රැඳී සිටීමට ගිජු වෙති.

බල ලෝභී කම නිසාම මොවුන් ජනතා අයිතිවාසිකම් වලට පිටුපාති. ජනතාවගේ අයිතීන් පැහැර ගනිති. කොටින්ම කිව හොත් ජනතාව දැඩි පීඩනයකට ලක් කරති.

සැබෑ ජනමාධ්‍ය වේදියෙකුගේ භුමිකාව සක්‍රීය වන්නේ මෙවන් පරිසරයකය. බලයෙන් මත් වී මුළු රටම විනාශ කරමින් සිටින පාලකයන්ව, පොදු ජන යහපත උදෙසා එළිදරව් කරමින් , පාලකයන්ව ජනතා අධිකරණය හමුවට ගෙන ඒමේ භාර දූර කාර්‍යය සිදු කරන්නේ සැබෑ ජනමාධ්‍ය වේදියාය.

මෙය බරපතල අභියෝගයකි. එම අභියෝගය මාධ්‍යවේදියෝ යැයි කියා ගන්නා සියල්ලෝම භාර නොගනිති. මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් මෙම අභියෝගයට මුහුණ දිය හැක්කේ ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කළ හැකි මානව හිතවාදී මාධ්‍ය කරුවෙකුට පමණි.

එවැනි වෘත්තීය වගකීමක් හඳුනාගත් මාධ්‍යකරුවෝ බොහෝමයක් අතීතයේ සිටි නමුත්, වර්තමානයේ දකින්නට ඇත්තේ අතලොස්සකි.

ජනතාවගේ යහපත වෙනුවෙන් පාලකයන්ට එරෙහිව අභියෝග කළ ජනමාධ්‍යවේදීන් , ලෙයින් කඳුළෙන් මෙන්ම ජීවිතවලින්ද වන්දි ගෙවූ ඉතිහාසයක් ලංකාව තුළ තිබේ. සිංහල , දෙමළ හා මුස්ලිම් යන ජාතීන් තුනටම අයත් මාධ්‍යවේදීහූ මීට ඇතුළත් වෙති.

එවැනි ජනමාධ්‍යවේදීන්ගේන් ඉටු වූ සමාජ මෙහෙවර ජනතාව අදටත් අගය කරති.

ජනමාධ්‍ය නිදහසට වැඩිමනත් බාධා එල්ල වෙන්නේ පවතින පාලන තන්ත්‍රයෙනි. එය සර්වකාලීන සත්‍යයකි. ඒ නිසාම ඊට මුහුණ දීම සඳහා මාධ්‍යවේදීන් විවිධ සංවිධාන ගොඩනඟා ගනිති.

ඒහෙත් මේ වන විට දකින්නට ඇත්තේ මාධ්‍ය මර්දනයට එරෙහිව දීප්තිමත් ඉතිහාසයක් අසහිත මාධ්‍යය සංවිධාන , කෂාය බිව් ගොලුවන් සේ නිහඬව සිටින අයුරුයි.

ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය ගත් විට ඉන් බොහොමයක් පාලකයන්ට පක්ෂපාතිව සිය මාධ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බව කිසිවෙකුට වසන් කළ නොහැකි කරුණකි.

මේවායේ හිමිකරුවන් ධනය රැස්කර ගෙන ඇති ආකාරයද ඉතා දූෂිත බව ලෝකයම දනී. මේවායේ සේවයේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට කිසි දිනක අදීන විය නොහැකි බව ඔවුන්ගේ හැසිරීමේන් මනා ලෙස ඔප්පු කොට තිබේ. සමහරුන් ඒ බව තවමත් ඔප්පු කරමින් සිටිති.

මොවුන්ට මාධ්‍යවේදීන් යන නම භාවිතා කිරීම කොතරම් උචිත දැයි විමසිය යුතු කරුණක් වී තිබේ. මොවුන් එහාට මෙහාට විකිණෙන කුනු මාළු කැබැලිය.

මාධ්‍ය සංවිධාන ගොඩනැගෙන්නේද අඩු වැඩි වශයෙන් මොවුන් වැනි අයගෙනි.ඒ නිසාම තමන්ගේ ලාභ ප්‍රයෝජනය විනා පොදු මහජන යහපත වෙනුවෙන් පෙනී සිට සටන් කරන මාධ්‍ය සංවිධාන දැක ගැනීමට නො හැකිවීම එතරම්ම අරමයක් නොවේ.

එක් පැතතකින් දූෂිත ක්‍රමවලින් ධනය උපයාගත් ජාවාරම්කාර පංතියක් ජනමාධ්‍ය බලය සියතට ගෙන තිබෙන අතර, ඒවා යොදා ගනිමින් ජනතාව තුළ ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය පතුරවමින් ජනතාව සම්පූර්ණයෙන් නොමඟ යවමින් මුළු සමාජයම විනාශ කරමින් සිටිති.

ඔවුන්, තමන්ට අවශ්‍ය පාලකයන් බලයට පත් කර ගැනීම වෙනුවෙන් කළ හැකි සියලු නොපනත්කම් සිදු කරමින් සිටින්නේ , අවම වශයෙන්වත් රැකිය යුතු ජනමාධ්‍ය ආචාර ධර්ම පවා නොතකා හරිමිනි.

සමහරු ඒවා මාධ්‍ය නිදහස ලෙසට අර්ථ දක්වති. " කොරෝනා අවදානම අවසන් " යනුවෙන් ජාතික යැයි කියා ගන්නා ලංකාදීප පුවත් පත අමූලික බොරුවක් සමාජගත කරමින් ජනතාව නොමග යැවූ විට ඊට එරෙහිව එකදු මාධ්‍ය සංවිධානයක්වත් මුඛ විවර නොකිරීමට වගබලාගත් හැටි අපි දුටු වෙමු. ඒ අනුව එය ද මාධ්‍ය නිදහසකි.

ජාවාරම්කාර ප්‍රාග්ධනයේ ග්‍රහනයට හසුවී ඇති ජනමාධයට එරෙහිව ක්‍රියා කිරීමට ඉතිරිව ඇත්තේ විකලප පුවත්පත් කිහිපයක් පමණි. එ්වා සැලකිය යුතු ජනතාවක් පරිශීලනය නොකරන බව අප පිළිගත යුතුය.

මේ තත්ත්වය තුළ ප්‍රබල හඬක් ලෙස මතුව ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා බව අප පිලිගත යුතු සත්‍යකි. ඒ නිසාම පාලකයෝ විසින් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන් දඩයම් කිරීම ආරම්භ කොට තිබේ. ඒහෙත් මෙම දඩයමට එරෙහිව ප්‍රමාණාත්මක විරෝධයක් මාධය සංවිධාන වෙතින් හෝ පොදුවේ සිවිල් සංවිධාන තුළින් හෝ තවමත් මතු වී නොමැත.

අධිපතිවාදී පාලකයන්ගෙන් ද , ජාවාරම්කාර ජනමාධ්‍ය මුදලාලිලාගෙන් ද මාධ්‍ය නිදහසට එල්ලවී ඇති තර්ජනයට අභියෝග කිරීමට කිසිදු බලගතු සමාජ සංවිධානයක් මතුවී නොමැති තත්ත්වයක් තුළ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් සිදු කරන මෙහෙය අති විශාලය.

මෙවැනි පසුබිමක් තුළ එනම් ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පවා නැති තත්ත්වයක් තුළ " ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය " සැමරිය යුත්තේ කිනම් මුඛ්‍යාර්ථයක් තුළ පිහිටා දැයි සිහි බුද්ධියෙන් විමසීම යහපත්ය.

අද ලාංකීය සමාජයට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමද ? නැතිනම් , මාධ්‍යයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද ? යන්න තෝරා බේරා ගැනීමය.

ppසුනිල් ගාමිණී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න