වත්මන් යුද තත්ත්වය තුළ අපි කුමක් කළ යුතු ද?

වත්මන් යුද තත්ත්වය තුළ අපි කුමක් කළ යුතු ද?

ලංකාවේ මුහුදු සීමාවෙන් පිට එහෙත් ලංකාවට අනන්‍ය ආර්ථික කලාප මුහුදු සීමාව තුළ ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන යුද නැවක් මුහුදුබත් වී ජීවිත රැසක් විනාශ විය.

නාවික අනතුරකට ලක් වූවන් බේරා ගැනීමේ අන්තර් ජාතික සම්මුතිවලට අනුව ලංකාවේ නාවික හමුදාව අනතුරට පත් වූ ජීවිත ගලවා ගැනීමට කටයුතු කර ඇත.

රජයට කෙනිහිලිකම් කිරීම

මේ ගැන පාර්ලිමේන්තුවේ හඩ නැගූ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරය ගැන රජය දැඩි විරෝධය පළ කළ යුතු බවත් රජය මෙය හෙළා දැකිය යුතු බවත් පළ කළේ ය. අනුර කුමාර ජනපතිවරයා ගේ රජයට කෙනිහිලිකමක් කිරීම හැරෙන්නට ඒ ප්‍රකාශ පවතින භූ දේශපාලනික තත්වය ගැන අවබෝධයකින් කළ ඥානවන්ත ප්‍රකාශ නොවන බව පෙනේ. මේ යුද්ධය පමණක් නොව බොහෝ යුද්ධ, විශේෂයෙන් තමන් සතු යුද බලශක්තිය සියල්ල සාධාරණීකරණය කරයි යනුවෙන් හිතන මහ බලවතුන් මැදිහත් වන යුද්ධ ජාත්‍යන්තර සම්මුති සලකමින් සිදුවන ඒවා නොවේ.

ට්‍රම්ප් සහ පුටින්

KofiAnnanකොෆි අනාන්

ඇමරිකාව ඉරානය ආක්‍රමණය කළ 2004 දී එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ව සිටි කොෆි අනාන් එය අන්තර්ජාතික නීතියට පටහැණි බව ප්‍රකාශ කළේ ය. මෙවර ද වර්තමාන එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුතරෙස් ඇමෙරිකාව ඉරානයට පහර දීම අන්තර් ජාතික නීතියට පටහැණි බව ප්‍රකාශ කළේ ය. 2004 දී අඩු වසයෙන් ඇමරිකාව එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයට ගොස් තම ආක්‍රමණික අභිප්‍රාය සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කිරීමට උත්සාහ කළ නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයා‍ ඇමෙරිකාවේ සම්ප්‍රදායික යුරෝපීය සගයන්ට පවා ඉරානයට පහර දීම සැල නොකළේ ය. ට්‍රම්ප් පමණක් නොව පුටින් ද යුක්‍රේනය ආක්‍රමණය කළේ කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ගරු කරමින් නොවේ. අවස්ථාව ලද විට ෂී ජින් පින්ග් තායිවානයට සිය හමුදා ගොඩ බස්සන්නේ ජාත්‍යන්තර සම්මුතිත් සලකමින් නොවේ. ඉරානය ද ක්‍රියා කළේ එසේ ය. ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස යුද්ධයට සම්බන්ධ නැති අරාබි රටවල් ගණනාවකට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කලේ ජාත්‍යන්තර නීතිය සලකමින් නොවේ.

කමේනි ශාන්තුවරයෙක් ද?

kameni

Rule based order ජාත්‍යන්තර ව හඳුන්වන නීති සම්මුතිගරුක සමානාත්මතාව අභිලාෂය ලෙස සලකන ලෝකයක් වෙනුවට ආර්ථික සහ යුධ ශක්තිය ඇති බලවත් රටවල් කිහිපයක් විසින් ලෝකය හසුරුවන අන්තර්ජාතික ක්‍රමයකට අපි අනුගත වෙමින් පවතින බව පෙනේ. අල්පේශාක්‍ය රටවල් ද සිය රටවල වැසියන්ට සැලකීමේ ඒ හා අනුගත වෙමින් බලය යුක්තිය ලෙස සලකන බව අපි දනිමු.

මසකට පෙර ඉරානයේ ජනතාව සිය පාලකයින් ගේ පීඩාකාරී පාලනයට එරෙහිව වීදි බට විට කමේනි ඔවුන් ගෙන් 7000ක් මරා දැමීමට පසුබට නොවී ය.

අන්තර්ජාතික නීති සම්මුති ගරු කරන ලෝකයක්

මොන අන්තර්ජාතික නීති සම්මුති ද? එක්සත් ජාතීන් සම්මත කළ මානව අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනා සිය රජයට ද එල්ලවන විට ඒවා අන්තර්ජාතික කුමන්ත්‍රණ බව යටි ගිරියෙන් කෑ ගසන දේශපාලනඥයින් ගෙන් අපට ද අඩුවක් නැත. තමන් ලිබරල්වාදියෙකුයි හඳුන්වා ගන්නා අපේ එක් ජනාධිපතිවරයෙක් මානව අයිතිවාසිකම් කඩකිරීමට නිසැක වරදකරුවෙකැ’යි රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ තැනැත්තකු ජුගුප්සාජනක ලෙස රටේ නීතියේ විධානය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා බවට පත් කළේය. අන්තර්ජාතික අධිකරණයේ බලවපසරියට ලංකාව ඇතුළත්වීම වැළැක්වූයේ තමා බව ද ඔහු පාරම් බෑවේය. එය හරියට අපට හැර අන් අයට සම්මුතිගරුක ලෝකයක් තිබුණාට කමක් නැත කීම වැනි වැඩකි. අන්තර්ජාතික නීති සම්මුති ගරු කරන ලෝකයක් නැවතත් ඇති කළ යුතු බව සැබෑය. එහෙත් අවි බලය කෙසේ වෙතත් ඒ සඳහා අන්‍යන් එකඟකර ගැනීමේ සදාචාරීය අධිකාරය ජාත්‍යන්තර ව අත්පත් කර ගත හැක්කේ තමන්ගේ රටවැසියන් සතු මානව අයිතිවාසිකම් සාක්ෂාත් කරදීම සිය දේශපාලන උපාය මාර්ගවල ඒකායන අභිප්‍රාය බවට සැබෑලෙස ම පත්කරගන්නා දේශපාලනඥයන්ට පමණි.

උගුරට හොරා බෙහෙත් බීම

ඉරානය යුද්ධයට සම්බන්ධ නොවූ අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කරනවිට එය හෙළාදැකිය යුතු බව නොකීමත් එම යුද්ධයේ දී ඉරාන නැවක් තදාසන්න ජාත්‍යන්තර මුහුදේ දී ගිල්වා දැමීම හෙළා දැමිය යුතු’යැයි කීමත් උගුරට හොරා බෙහෙත් බීමට තැත් කිරීමකි. රටට මුහුණ දීමට සිදවන අභියෝග සලකා රජය කළ යුත්තේ මේ සංකීර්ණ අවස්ථාවේ දී යුදවැදී ඇති කිසිදු පාර්ශවයකට වාසිදායක වන ප්‍රකාශ කිරීමෙන් වැළකී නොබැඳි පිළිවෙත පිළිපැදීමයි. 

පසු සටහන

647385973 1512199334249564 1937788300634702715 n

ලංකාවේ මුහුදු සීමාවට නුදුරින් දෙවැනි ඉරානියන් නැවක් ලංකාවේ වරායක නැංගුරම් ලෑමේ බලා පොරොත්තුවෙන් සිටි බව නිව්ස් ඒජන්සි වාර්තා පෙන්වා දෙයි. යුද නැවක් නොවුවත් විය යුතු පරිදි ම මෙම නැවට ලංකාවේ වරායවල නැංගුරුම් ලෑමට ඉඩ දිය යුතු නැත. ඒ වෙනුවට කළ හැකි උපරිමය නැව අන්තර්ජාතික මුහුදේ අතහැර දමන ලෙස දන්වා සරණාගතයන් ලෙස සලකා එහි නාවිකයන් මුදා ගැනීමට මැදිහත්වීමයි. මේ යුද්ධය අන්තර්ජාතික සම්මුති සලකන යුද්ධයක් නොවේ. අතරමං වන ඉරාන නාවික යාත්‍රාවලට ලංකාවේ වරායවල නැවැත්වීමට ඉඩ දීම අපේ ආයාත හා නිර්යාත කටයුතුවල නිරතවන අනෙකුත් නැව් අපේ වරායවලට පැමිණිම වළක්වන ක්‍රියාවක් වනු නියත ය.

පසු සටහන 2

දෙවැනි ඉරාන නැව වැඩි අන්තර්ජාතික නාවික කටයුත්තක් සිදුනොවන ත්‍රිකුණාමලය වරායට ගෙනයෑමටත්, නාවිකයින් කොළඹ රඳවා ගැනීමටත් ජනධිපතිවරයා ගෙන ඇති තීරණය හොඳ එකකි. තවත් මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව පූර්වාපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම ද වැදගත් ය.

 

vijayananda

 

විජයානන්ද ජයවීර

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න