කොරෝනා අස්සේ : 5000 දෙන්න වෙන්කළ මුදල වගේ හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට දීලා - පාඨලි

කොරෝනා අස්සේ : 5000 දෙන්න වෙන්කළ මුදල වගේ  හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට දීලා - පාඨලි

කෝටි 850 ක් කොවිඩ් නිසා ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදෙන ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් මෙගාඩීල් දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක  පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව නැවත කැඳවුහොත් මෙවැනි ගණුදෙණුවල ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා, ටෙන්ඩර් කමිටු සංයුතිය වැනි දෑ ගැන ප්‍රශ්න කිරීමෙන් තමන්ට රිසි සේ මෙගා ඩීල්වලට යා නොහැකි බව දන්නා ආණ්ඩුව, මූළ්‍ය බලය පවතින පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කර තිබෙන බවද  හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

හිටපු  අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සමඟි ජන බලවේගය විසින් අද(03) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අගමැතිගේ මන්ත්‍රී හමුවට නොයන  හේතුව !

හෙට(04) දිනයේ අග්‍රමාත්‍යවරයා විසින් කැඳවා තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවට සමඟි ජන බලවේගය සහභාගී නොවන්නේ ඇයි ? ඒ සම්බන්ධව විස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ඊයේ අපේ මහලේකම්තුමා නිකුත් කළා. වැඩිමනත් වශයෙන් කියනව නම් ඉතාම සරලව මේකයි.

ආණ්ඩුව සහ විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය එයට සහය දෙන සහායක බල ඇණිය සියලු දෙනාම කියපු දේ තමයි 225 රැස් කරන්න එපා. නමුත් හිටිහැටියේ ඇයි 225 ඕන වුණේ ? මෙය අපට විමතියට කාරණයක්. ජනාධිපතිවරයා සහ සහයක බලඇණිය 225 එපා කියද්දී, අගමැතිවරයා 225 කැඳවන්නේ ඇයි ?

අපි ජනාධිපතිවරයා සමඟ එක් වතාවකුත් අගමැතිවරයා සමඟ දෙවතාවකුත් සාකච්ඡා කළා. එහිදී අපි කරුණු ගණනාවක් ඉදිරිපත්කළා. අපි කිව්වා , PCR පරීක්ෂණ වැඩි කරන්න , කළේ නෑ. ආරක්ෂක අංශවල අයට හා අනෙකුත් අයට විශේෂයෙන්ම මේක කරගෙන යන සෞඛ්‍ය සේවා අංශවල නියාමක බලවේගයට ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබාදෙන්න කියල. කළේ නෑ. ඖෂධ බෙදාහරින විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවන්න කිව්ව. කළේ නෑ.

මේ අය ඇඳිරිනීතිය හා ආධාර බෙදාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කළා. ඒ නිසා අපිට ඒ සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් ලැබුණෙ නෑ. ඒ නිසා අපි කියන්නෙ කැඳවන්න පාර්ලිමේන්තුව. දැනට එහි රඳවා සිටින හමුදාවෙ නිලධාරීන් අයින් කර ආරක්ෂාව යොදා පොලීසියට බලය දෙන්න. ඊට පස්සෙ අපි අනිවාර්යෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට එනව. අනතුරුව අපට පුළුවන් ඇඳිරි නීතිය නීත්‍යානූකූල කරල දෙන්න. 

කොකුපණු නීතියෙන් කොවිඩ් මැඩීමට යන ආණ්ඩුව !

මෙම වසංගතය මර්ධනයට ආණ්ඩුව යොදාගෙන තියෙන්නෙ 1897 කොකු පණු රෝගය මර්ධනය කිරීමට ඉංග්‍රීසීන් පාවිච්චි කරපු නීතියක්. අපේ නීතීඥවරු, මන්ත්‍රීතුමන්ලා එකතුවෙලා අලුත් නීතියක් කෙටුම්පත් කරල තියෙනව. ඒ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි. වසංගතය යම් ආකාරයකට පවතින තත්ත්වයන් හා මහජන ආරක්ෂක හා සෞඛ්‍ය තත්ත්වයන් ඇතුලෙ මැතිවරණ නීති වෙනස්කරන්න ඕන කියල මැතිවරණ කොමිසම කියනව.  අපි ලෑස්තියි ඒව පාස්කරල දෙන්න. දැන් තිබෙන නීති විරෝධී මූල්‍ය ක්‍රියාවලියේ නියැලෙන්න එපා. නීත්‍යානුකූලව ඒ මුදල් සම්මත කරල දෙන්න අපි ලෑස්තියි. ඒ වගේම අරමුදල් විධිමත්කරණය අත්‍යාවශ්‍යයි.

ඒ වගේම ආණ්ඩුව විසින් හොර රහසේ ගහන මෙගාඩීල් වළක්වන්න හොඳම දේ තමයි පාර්ලිමේන්තුව නැවත කැඳවීම. ඒ වගේම රටේ ජනතාවට, විදේශ රටවල මූල්‍ය ආයතනවලට (මේ රට විදේශ මූල්‍ය ආයතනවලින් මුදල් ගන්න යන්නෙ) මේ රට සමගි සම්පන්නයි, අපි එකමුතුයි, අපි ඒකාබද්ධව ඉදිරියට යනව, නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බව පෙන්වන්න තියෙන හොඳම ක්‍රමයත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි.

ඒ නිසා තමයි අපි හෙට නොයන්නෙ. අරලියගහ මන්දිරේ නෙමෙයි පාර්ලිමේන්තුවේ කැඳවන්න. එවිට අපි සාකච්ඡා කරල නිවැරදි තීන්දු තීරණ ගමු. මේ අවස්ථාවේ රටේ මහජනතාව වෙනුවෙන් ආණ්ඩුව විසින් ගෙන යන සහන සැලසීමේ විධිමත් ක්‍රියාවලීන්ට කොන්දේසි විරහිතව සහය දෙන්න අපි සූදානම්.

ඇමරිකානු පුරවැසි බැසිල්ට මූල්‍ය පාලනය පවරලා !

අප්‍රේල් 22 ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනුයේ, පාර්ලිමේන්තුව එපා, 225 අවශ්‍ය නැති බව පවසමින්, ඇමෙරිකානු පුරවැසියෙක් වන, කිසිම ආකාරයකින් අදවන විට පාර්ලිමේන්තුවට සම්බන්ධයක් නැති බැසිල් රාජපක්ෂ මහතාට මුළු රටේම ආර්ථිකය හා මූල්‍ය පාලනය පවරමිනි. 225 ම ගෙදර යැව්වා කීවාට 225 ම ගෙදර ගොස් නැත. ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරු 16 දෙනෙක්, ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරු 96 දෙනෙක් සියලුම පහසුකම් බුක්ති විඳිමින් සිටී. ගෙදර යවා ඇත්තේ විපක්ෂයේ අය පමණි.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම තිබෙනුයේ පාර්ලිමේන්තුව සතුවයි. අද වන විට ජනාධිපතිවරයා ඇතුළු විධායකය පාර්ලමේන්තුව සතු මුදල් පැනවීමේ බලය තමන් සතුකරගෙන චක්‍රලේඛ නිකුත් කරයි. පාර්ලිමේන්තුවේ නීති සැකසීමේ බලය ද අකර්මන්‍ය කර තිබේ.  මේ ආකාරයට සම්පූර්ණ බලය තමන්ගේ ඥාතියෙකුට පැවරීමට ජනාධිපතිවරයා ක්‍රියාකර තිබේ. වියත්මඟ මේක ද? මේ හදනවා කියූ වෘත්තීයවේදීත්වය ද? මෙම ගැසට් පත්‍රය මගින් රටේ සෑම ක්ෂේත්‍රයක්ම, බලශක්තිය, ආහාර, පරිපාලනය, රාජ්‍ය පාලනය යනාදී සෑම දෙයක්ම මේ වසංගතයට මුවාවී බැසිල් රාජපක්ෂ මහතා විසින් සියතට ගෙන තිබේ. කැබිනට් මණ්ඩලයේ බලයත්, විධායක බලයත් පිටස්තර කණ්ඩායමකට ලබාදී තිබේ.

ආරක්ෂක අංශවලට වූ වින්නැහිය !

නැවතත් මැයි 11 වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්වේ යැයි පවසා ජුනි 20 මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටී.

කොරෝනා වසංගතය නිසා රට වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම අවිද්‍යානුකූල විය. එය පවත්වාගෙන යාම හා නැවත එය ඉවත් කිරීම ද අවිද්‍යානුකූල ලෙස සිදුකරමින් පවතී. ලෝකයේ අනෙක් හැම රටකම වැඩිම ආසාධිත ප්‍රමාණය ඉන්නෙ සෞඛ්‍ය සේවකයෝ, වෛද්‍යවරු, හෙදියො, උපස්ථායකයො සහ සහායකයො. ලංකාවේ වැඩිම ආසාධිත ප්‍රමාණය වෙන්නෙ (40% ක්) මේ රටේ ආරක්ෂක සේවාවන්වල අයයි. මේකට මොකක්ද හේතුව? ඩෙංගු වසංගතය වෙලාවෙ ආරක්ෂක අංශ ගෞරවණීය සේවාවක් ඉටුකළා. රෝහල් හදල දුන්න. පහසුකම් සපයල දුන්න. හැබැයි ඩෙංගු මර්ධනය කරන්න ආරක්ෂක අංශ ගියේ නෑ. ඒකට තමයි වෛද්‍යවරු, හෙදියො, උපස්ථායකයො, විශේෂඥයෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නෙ. ඒ කාර්ය ආරක්ෂක අංශවලට ලබාදීපු නිසා තමයි අද ආරක්ෂක අංශ කඳවුරු ගණනින් අද කොවිඩ් වසංගතයට ගොදුරුවෙලා ඉන්නෙ. ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මේ  විපත්තිය සිදුවෙලා නෑ.

සියල්ලේ වගකීම ආණ්ඩුව ගන්න ඕන !

ඒ නිසා අපිට පැහැදිළිවම පේනව මේ වසංගතය අතරතුරේත් දේශපාලන ගේම් ගැසීමෙන් හා අවිද්‍යානූකූලව තීන්දු තීරණ ගැනීමෙන් බරපතල අර්බුදයකට රට ලක්වෙලා තියෙන බව. මීට සම්පූර්ණයෙන්ම ජනාධිපති සහ අගමැති, සෞඛ්‍ය ඇමති සහ කැබිනට් මණ්ඩලය වග කියන්න ඕන. ඒ වගේම රජ මාලිගා වල කීදෙනක් දිනපතා කෝව්ඩ් පරීක්ෂණයන්ට ලක්කරනවා ද, සාමාන්‍ය ජනයා කී දෙනෙක් කරනවා ද කියන තොරතුරු වහාම ආණ්ඩුව සමාජගත කරන්න ඕන.

විද්‍යානූකූල ක්‍රමයකට රට විවෘත නොකර දේශපාලන අරමුණු වෙනුවෙන් රට විවෘත කර හදිසි මැතිවරණ පවත්වල මේ රට අමු සොහොනක් විසාලාවක් කරන්න එපා කියල අපි මැතිවරණ කොමිසමෙනුත් බලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනා බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න