රට ගොඩගන්න කළ යුත්තේ කුමක්ද : R. සම්බන්ධන් අගමැති මහින්දට උපදෙස් දීලා !

රට ගොඩගන්න කළ යුත්තේ කුමක්ද  : R. සම්බන්ධන් අගමැති මහින්දට උපදෙස් දීලා !

රට බරපතළ අර්බුදයකට  මුහුණපා සිටින අතර එයින්  ගැලවීම සඳහා විපක්ෂයේ සහාය ලබා ගැනීම සඳහා ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද යන්න දෙමළ   ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් අගමැති මහින්ද රාජපක්ෂ  මුණගැසී දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

 ඒ අතරින් සුදුසු යෝජනා අනාගතයේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව අගමැතිවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.

වසංගතය උත්සන්න වීම, ජනමතය නොතැකීම, අලුත් ව්‍යවස්ථාවක් ක්‍රියාවේ යොදවා බලය බෙදා නොහැරීම සහ ආර්ථිකය කඩාවැටීම අර්බුදයට බලපෑ හේතු සේ දෙමළ ජාතික සන්ධානය විසින් ලිඛිතවම දැනුම් දී ඇත්තේ මෙතෙක් කල්  පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් පවත්වන ලද ඊයේ (04) රැස්වීමකදීය.

විසුරුවා හරින ලද ඉකුත් පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂය විසින් වර්ජනය කෙරුණු එම රැස්වීමට රැස් සහභාගිවෙමින්  දෙමළ ජාතික සන්ධානය (TNA) අගමැතිවරයාට භාර දුන් ලියවිල්ලෙන් පවසා තිබුනේ රට මුහුණපා සිටින ව්‍යවස්ථාමය හා නීතිමය ගැටළු විසඳීමේ එකම මග පාර්ලිමේන්තුව නැවත කැඳවීම පමණක් බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා ඇති රැස්වීම ඊට ආදේශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරසු  කච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අඩයික්කලනාදන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධත්තන් විසින් අත්සන් කර ඇති ලිපියේ අවධාරණය කර තිබේ.  

 එකාවන්ව කටයුතු කළ යුතු මොහොතේ ජනාධිපති කළ දේත් අගමැතිට සිහිපත් කරලා !

දිනෙන් දින ඉහල යන කෝවිඩ් 19 වෛරසයේ අනතුර තවත් උත්සන්න වී මාරාන්තික ප්‍රතිපල උදා කරතැ’යි  ජනතාව බිය වැදී සිටින බවට අනතුරු අඟවන TNA සංදේශය පවසා ඇත්තේ ඊට එකාවන්ව  මුහුණ දීමේ අවශ්‍යතාවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස සියලු පක්ෂ එක්වී කරන ලද ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැක්වුයේ නිශේධනීය ප්‍රතිචාරයක් බවද දෙමළ නායකයන් අගමැතිට සිහිපත් කර දී ඇත.

කෙසේවෙතත්, ජනමතය නොතකා රටේ පාලනය පවත්වාගෙන යාම අර්බුදයේ එක් අංගයක් ලෙස ලිපියේ  සඳහන් වෙයි.

“ස්වකීය පරමාධිපත්‍යය ප්‍රකාශයට පත් කරමින් ජනතාව දී ඇති වරම ක්‍රියාත්මක නොකර රට පාලනය කෙරෙමින් පවතින්නේ ජනතාව විසින් විසිපස් අවුරුද්දක් තිස්සේ ප්‍රතික්ෂේප කරන ලද ව්‍යවස්ථාවක් යටතේය.”

විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳීම ආදී කාරනා වලට විසඳුමක් ලබාදෙන අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට අසමත් වීමත් රට මුහුණ පා සිටින අර්බුදයේ තවත් පැතිකඩක් බව දෙමළ ජාතික සන්ධානයේ පිළිගැනීමයි.

“ඉහතින් දක්වා ඇති සියලු කරුණු වලට විසඳුම් සෙවිය යුතු නිසාත්, රටේත් එහි වාසය කරන සකල ජනතාවගේත් අවශ්‍යතාවට ගැලපෙන යුක්ති සහගත හා පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමට අපේ සහාය ලබාදීමට සුදානම් බව පැහැදිලිවම පෙන්වා දීම සඳහා ගරු අගමැති තුමා සමග වන සාකච්ඡාවට සහභාගි වීමට අපි තීරණය කළෙමු,” යි දෙමළ ජාතික සන්ධානය සිය සංදේශයෙන් කියා දී තිබේ.

එසේ වෙතත්, විසඳුම් ලබාගත හැකිවන්නේ පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පමණක්ම බව TNA නායකත්වය රැස්වීමේදී අගමැතිවරයාට දුන් ලිපියෙන් අවධාරණය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලියට අමතරව හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ද තමන්ට ලැබුණු බව පවසන අගමැති මහින්ද රාජපක්ෂ රැස්වීම අවසානයේ ප්‍රකාශ කර ඇත්තේ “ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සාකච්ඡාවට ලක් කර සුදුසු යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න