Language Switcher

V2025

RT-PCR  සාවද්‍ය වාර්තා කඩාකප්පල්කාරී වැඩක් : ජනාධිපතිට පැමිණිල්ලක් !

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රසායනාගාර මඟින් සාවද්‍ය වාර්තා ලබා දීම දිගින් දිගටම සිදු වන බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිව තිබියදී රෝගීන් යැයි සැක සහිත බොහෝ පුද්ගලයන්ගේ පළමුවන නිදර්ශකය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම හිතාමතාම සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවට පැමිණිල්ලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබේ.
 
මෙම ලිඛිත පැමිණිල්ල ඊයේ (06) සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නියෝජනය කරමින් එහි සභාපති රවී කුමුදේශ් විසිනි.
 
මෙම ලිඛිත පැමිණිල්ල සඳහා පාදකවී ඇත්තේ කොවිඩ් 19 ආසාදිත බව පරීක්ෂා කෙරෙන  RT-PCR පරීක්ෂණ වාර්තා කිහිපයක ප්‍රතිඵල පරස්පර වීම සහ නිරවද්‍ය නොවු බව අනාවරණය වීමය.
 
ආසන්නතම සිදුවීම ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිණියක හා තවත් රෝගීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය නිකුත් කරන ලද සාවද්‍ය වාර්තා මත පදනම්ව ඔවුන් සඳහා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව 2020.05.05 දින වාර්තා කර තිබීමය.
 
රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාර භාවිතයට නොගෙන මේ ආකාරයට  පරිබාහිර ආයතන වෙත යොමු කිරීම තුළ ගැටලු පැන නගින බව මීට අවස්ථා කිහිපයක දී ද මෙම සංගමය වාර්තා කර තිබිණ.
 
එසේ ම ඒ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් වෙතත් වෙත පැමිණිලි කර තිබිණ. එහෙත් ඒ කිසිවක් සම්බන්ධව විධිමත් අවධානයක් හෝ නිසි ක්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. 
 
රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ සසම්බන්ධව පැමිණිලි කිරීමට  කටයුතු කර ඇත්තේ එවන් පසුබිමක ය.
 
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.
 
දිනය: 2020.05.06
 
ගරු ගේඨාභය රාජපක්ෂ මැතිතුමා
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01
අත්තනෝමතික ලෙස කොරෝනා හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම මඟින්, රසායනාගාර වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීම !
 
මේ පිළිබඳව මගේ අංක SLAGMLT/Gen/2020 (23) දරණ 2020.05.02 දිනැති “ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ රසායනාගාරයේ COVID19 RT-PCR පරීක්ෂණය පිළිබඳ මතුවී ඇති ගැටළු පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීම” යන ශීර්ෂයෙන් යුතු ලිපිය මඟින් ඔබගේ අවධානයට යොමු කරන ලද කරුණු වලට වැඩිමනක් වශයෙනි. ඒ අනූව එම තත්වය තවදුරටත් තහවුරු කරමින් ලංකා  ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිණියක හා තවත් රෝගීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය නිකුත් කරන ලද සාවද්‍ය වාර්තා මත පදනම්ව ඔවුන් සඳහා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව 2020.05.05 දින වාර්තා කරන ලදී. 
උක්ත කරුණු සැළකිල්ලට ගැනීමේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රසායනාගාර මඟින් සාවද්‍ය වාර්තා ලබා දීම දිගින් දිගටම සිදු වන බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිව තිබියදී රෝගීන් යැයි සැක සහිත බොහෝ පුද්ගලයන්ගේ පළමුවන නිදර්ශකය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම හිතාමතාම සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකිය. එනයින් එවන් අදූරදර්ශී තීන්දු ක්‍රියාවට නංවන නිළධාරීන් පිළිබඳව සොයා බලන ලෙසත් එය මහජනතාව වෙත හෙළිදරව් කරන ලෙසත් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු. 
 
මෙලෙස දිගින් දිගටම වැරදි වාර්තා ලබා දීම හේතුවෙන් වෛද්‍ය රසායනාගාර වාර්තා පිළිබඳව මහජනතාව අතර ඇති විශ්වාසය බරපතල පිරිහීමකට ලක්ව වෙමින් ඇති අතර එමඟින් ඉදිරියේදී වසංගත පාලන රෙගුලාසි මහජනතාවගේ ප්‍රශ්න කිරීම් වලට ලක් වීමත් සමස්ථ ක්‍රියාවලිය ව්‍යාකූල වීමටත් ඉහල හැකියාවක් ඇත. මේ මොහෝතේද වසංගතය පිළිබඳව සම්පූර්ණ නිර්ණායකයන් ව්‍යාකූල බවට පත් වීමට ඉහත සාවද්‍ය වාර්තා හේතු වූ අතර එමඟින් අදාල හෙද නිළධාරිණිය ඇතුළු පුරවැසියන් ගණනාවකට බරපතල අසාධාරණයක් සිදුවී ඇත. තවද අනවශ්‍ය ලෙස PCR පරීක්ෂණ ගණනාවක් සිදු කිරීමටද පුරවැසියන් ගණනාවක් නිකරුනේ නිරෝධානය ක්‍රියාවලියට ලක් කිරීමට සිදු විය.
 
මේ සියල්ල සිදු වන්නේ ඉතා නිවැරදි ලෙස වාර්තා නිකුත් කිරීමට ප්‍රමාණවත් පහසුකම් සහිත වෛද්‍ය රසායනාගාර සේවාවක් සෞඛ්‍ය අමාත්‍යාශය තුල පැවතියදී වීම බරපතල තත්වයක් වන බැවින් එමඟින් ඇති වන අපහසුතාවන්ගේ වගකීම දැරිය යුත්තේ අත්තනෝමතික ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත නිදර්ශක යොමු කිරීම සඳහා තීන්දු ගනු ලැබූ නිළධාරීන් විසින් වන බැවින් ඒ පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 
 
 ස්තුතිය
මෙයට, විශ්වාසී
රවී කුමුදේශ් - සභාපති
රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
සෞඛ්‍ය  බලධාරීන්ගේ අවධානය ට !
 
රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත පසුගිය දින කිහිපය තුළ යොමුකළ ලිපි පහත දැක්වෙයි.
 
එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රසායනාගාරවල දිනකට පරීක්ෂණ 2000ක් තරම්  සිදු කළ හැකිව තිබියදී වෙනත් රසායනාගාරය වෙත යොමු කිරීමත් ප්‍රශ්න කර ඇති බවත් දක්නට හැකිය.
IMG 20200507 WA0005
 
IMG 20200507 WA0008