PB ලිපිය ජනාධිපති අනුදැනුම ඇතුව : ආණ්ඩුවේ සූදානම රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවකට !

PB ලිපිය ජනාධිපති අනුදැනුම ඇතුව : ආණ්ඩුවේ සූදානම රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවකට !
මැයි මාසයේ රාජ්‍ය සේවක වැටුප ඉල්ලා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධ ජනාධිපති අනුදැනුම යටතේ සිදුවූවක් බවත් එසේ නොවන්නට  රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට ජනාධිපති  ලේකම් ට කිසිදු නෛතික බලයක් නොමැති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.
 
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේඩී ලාල්කාන්ත  ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා සඳහන් කරන අතර  එහිදි  ජනාධිපති ලේකම්ගේ  ලිපිය හඳුන්වන්නේ රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවට සුදානමක් ලෙස ය.
 
අදාල සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
 

අතිගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව සම්බන්ධවයි.

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ අඩක් ආණ්ඩුවට ලබාදෙන ලෙස ඔබගේ ලේකම්වරයා විසින් ඔබ ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. මෙය ඔබතුමාගේ අනුදැනුම මත සිදුවුවක් බව අපි විශ්වාස කරමු. එසේ නොමැතිනම් ඔබගේ ලේකම්වරයාට කාර්යාලීය ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට කිසිදු නෛතික බලයක් නැත. මේ හරහා රාජ්‍ය සේවකයින්ගේ මැයි මසට අදාලව හෝ අඛණ්ඩව වැටුප් කප්පාදුවකට ආණ්ඩුවේ සූදානම පිළිබඳව අදහසක් ඉදිරිපත්වී ඇත. 

 ඇතැම් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල බලහත්කාරයද යොදාගනිමින් කොරෝනා මර්දන අරමුදලට යැයි කියමින් සිදුකර ඇති වැටුප් කප්පාදුව එවැනි ක‍්‍රියාවලියක් පිළිබඳව සාක්‍ෂි දරයි. ලේකම්වරයාගේ ලිපියට අනුව රාජ්‍ය සේවකයින්ගෙන් කපාගන්නා වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලකට බැර කරන බව සඳහන් වේ. එහෙත් එවැනි වෙනම පවත්වාගෙන යන අරමුදලක් පිළිබඳව කිසිදු සඳහනක් මහබැංකුව මට්ටමින් හෝ මුදල් අමාත්‍යාංශ මට්ටමින් හෝ කිසිදු තොරතුරක් නැත. එසේ තිබේනම් එම අරමුදල පිළිබඳව තොරතුරු හෙළිකරන ලෙසද මෙතෙක් රාජ්‍ය සේවකයින්ගෙන් කපාගෙන ඇති වැන්දඹු හා අනත්දරු අරමුදලේ ප‍්‍රමාණය කොපමණද යන්න හෙළිදරව් කිරීමද ඔබගේ වගකීමක් බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

02. පොදුවේ රාජ්‍ය සේවකයින්ගේ ජීවන තත්වය මේ වන විට පවතින්නේ ඉතා පහළ මට්ටමකය. රනුක්ගේ වැටුප් කොමිසම විසින් වැටුප් වැඩිවීම විධිමත්ව සිදුවන තුරු 2020 ජනවාරි සිට රු. 3000/- සිට 25000/- දක්වා වැටුප් වැඩිවීමක් ලබාදීමට නිර්දේශ කර තිබුනේ මේ තත්වය යටතේය. කොරෝනා වසංගත තත්වයක් ඒ වන විට නොතිබියදී පවා නව ආණ්ඩුව රාජ්‍ය සේවකයාට ලැබීමට තිබූ එම සහනය අහිමි කරන ලදී.

03. දැන් මෙම වසංගතය හමුවේ අන් සියලූ පාර්ශවයන් මෙන්ම රාජ්‍ය සේවකයාද පත්ව ඇත්තේ බලවත් අසීරුතාවයකටය. වෙනදා අතිකාල සේවය කරමින් ලබාගත් අමතර ආදායම අහිමිව ගොස් ඇති අතරම විවිධ කාරණාමත ලබාගත් ණයට වැටුප හිලව් වීමේ තත්වය යටතේ ජීවත්වීමට තිබූ අමතර ආදායමක් වේ නම් ඒ සියල්ලද ඔවුනට ද අහිමි වී ඇත. එහෙත් රාජ්‍ය සේවකයින් යන ලේබලය නිසා කිසිදු සහනාධාරයකට හිමිකම් කීමේ හැකියාවද නැත. උත්සව අත්තිකාරම් ලබාදීමද සම්පූර්ණයෙන් නවතාදමා ඇති නිසා අපේ‍්‍රල් 08 වෙනිදායින් පසුව යළි මුදලක් අතට ලැබන්නේ මැයි 25 වෙනිදාය. එම මුදලද රාජ්‍ය සේවකයින්ට අහිමිවුවහොත් නැවත ජුනි මස 20 දිනය පසුවන තෙක් බලාසිටීමට සිදුවනු ඇත. ඒ අනුව ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැත.

04. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලූ අත්‍යවශ්‍ය සේවාවන්වල නියුතු රාජ්‍ය සේවකයින් ජීවිත අවධානම පවා නොසලකා තම කාර්යය නොපිහිරිහෙලා ඉටුකර ඇත. එසේම පසුගිය කාලය පුරාවට රාජ්‍ය සේවකයින් විසින් වැටුප් මෙන්ම වෙනත් අයිතිවාසිකම් වෙනුවෙන්ද කරනු ලැබූ අරගල තාවකාලිකව නවතා දමනු ලැබුවේද වගකිවයුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස යම් කැපකිරීමක් සිදුකරමිනි. ආණ්ඩුව වැටුප් කප්පාදු කිරීමට සැරසෙන්නේ මේ වටපිටාව තුලය. එය රාජ්‍ය සේවකයා කබලෙන් ලිපට ඇද දැමීමකි. එම නිසා මෙම ක‍්‍රියාවලියට අපගේ බලවත් විරෝධය පළකරන අතරම, ඔබගේ ලේකම්වරයාගේ මීට අදාල ලිපිය වහාම ආපසු කැඳවා, වැටුප් කප්පාදුව නතර කරන ලෙසත්, ලැබිය යුතු පරිදි වැටුප් අඛණ්ඩව ලබාදෙන ලෙසත් ඉතා  ඕනෑකමින් යුතුව අවධාරණය කර සිටිමු.  

ස්තුතියි.

මීට විශ්වාසී,
කේ. ඩී. ලාල්කාන්ත
සභාපති
ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න