පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව පාර්ශව 7ක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් එළැඹෙන මැයි 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජයන්ත ජයසූරිය , එස්. තුරෙයිරාජා මහතා සහ මුර්දු ප්‍රනාන්දු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ප්‍රකාශ කරනු ලැබිණ.
එතෙක් මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීරණ තීන්දු ගැනීම මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙන බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය පවසා ඇත.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බවය.
පෙත්සම්කාර පාර්ශ්වයක් වන නීතීඥ චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බවය.
සෙසු පෙත්සම්කාර නීතීඥ වරුන් එම කරුණු දැක්වීම අනුමත කළේය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා කියා සිටියේ ඒ පිළිබද අගවිනිසුරුතුමන් විසින් තීරණය කළ යුත්තක් බවය.
එසේම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.
එම කරුණු දැක්වීම් වලින් අනතුරුව විවෘත අධිකරණය හමුවේ අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය කියා ඇත්තේ රටේ දැනට පවතින වාතාවරණය අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බවත් , මේ පෙත්සම් සම්බන්ධයෙන් කල්වේලා ගත කරමින් මේ මොහොත තුළ අධිකරණ ශාලාව තුළ විභාග නොකළ යුත්තක් බවය.
එබැවින් ලබන 18 සහ 19 දෙදින මෙම සියලු පෙත්සම් සලකා බැලීමට තීන්දු කරන බවද අගවිනිසුරුවරයා පවසා තිබේ.

