හිජාස්ගේ පෙත්සම සලකා බැලීම ජුනි 1 වෙනිදා : ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ තීන්දුවක් !

හිජාස්ගේ පෙත්සම සලකා බැලීම  ජුනි 1 වෙනිදා : ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ තීන්දුවක් !

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ බවට සැකයැයි පවසමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ඇති   නීතීඥ හිජාස් හිස්බුල්ලා ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ⁣ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කර ඇත.

එම පෙත්සම එල්.ටී.බී දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවා තිබිණ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ නොතීසි තමන් වෙත  ලැබුනේ ඉකුත් සිකුරාදා සවස් වරුවේ බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තමන් ඉදිරි දිනයේ කරුණු දක්වන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ  අධිකරණය  හමුවේ කියා සිටි බවත් වාර්තා වෙයි.

එසේම පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්  කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලාගෙන් නඩු කටයුතුවලට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ඔහු හමුවීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටි බව සඳහන් ය.

 සියලු කරුණු සලකා බැලූ ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  පෙත්සම  ලබන ජූනි 01 වැනිදා සලකා බැලීමට දින නියම කළේය.

නීතීඥ හිජාස් හිස්බුල්ලා  වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා  ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , එහි ස්ථානාධිපති ,නීතිපති ඇතුළු හය දෙනෙකු නම් කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා  ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ  හිජාස් හිස්බුල්ලා  බැලීමට  ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයෙකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

තවම අධිකරණයට ඉදිරිපත් කරලත් නැහැ !

ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

පසුගිය අප්‍රේල්  14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබිය.
එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර  තිබිණි.නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා  මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.

ඊට අමතරව එහිදී මාධ්‍යවේදියෙකු යොමු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා ඇතුළු  සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයෙකුට අවසර ලබා දෙන්නේ නැත. එසේම  එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කොට නැත.

තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත. ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත. එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා  අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්ත⁣ගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා පෙනී සිට ඇත. එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

මේ අතර ජාත්‍යන්තර නීතිඥ සංවිධාන රැසක් නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනීසිට නිවේදන නිකුත් කර ඇති අතර  ඒනිසාම දැඩි ජාත්‍යන්තර අවධානයක්  ඒ කෙරෙහි යොමුව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න