Language Switcher

V2025

විශ්‍රාමික ජෙනරල්ලා වැඩ අල්ලයි : මුලින්ම ඩඩ්ලිගෙ මෝලට !

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාධ්‍යවේදීන් පිරිවරා ගෙන, පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් ඊයේ (23) සවස වැටලිමට ලක් කළහ.  

එහිදි දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් මෝල් වන අරලිය, නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.  

ඩඩලි සිරිසේනගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත්‍රීක්කවල පාරිභෝගික සේවා අධිකාරියේ  නිලධාරින්ද මෙම වැටලිමට එක්ව සිටියහ.  

එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡවකින් පසු එකගත්වය පලකල බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පැවසිය.  

මෙම පරික්ෂාවේදි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල්වල රැස් කර තිබෙන වී සහ සහල්  කොතරම් තිබේද යන්න පරික්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේය.

ඉදිරියේ දී මෝල් හිමියන් අත්අඩංගුවට !

ඉදිරියේදි දිවයින පුරා ඇති වි සහ සහල් මෝල් වැටලිමට ලක්කර වෙළද පොලට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු පැවසිය.   ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙලද පොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට පාරිභෝගික පිලිබද අධිකාරිය කල හැකි උපරිම කාර්ය සිදු කරන බවද ශාන්ත දිසානායක වැඩිදුරටත් සදහන් කලේය.   තවද පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙලද පොළට නිකුත් කරන ලෙසටද තමා අදාල වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පලකෙරු බවද මේජර් ජනරාල් දිසානායක කීය.

මෝල වහලා හිරේ යනවා - ඩඩ්ලි කියයි

Mol

 පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් අරලිය සහල් මෝල පරීක්ෂා කිරීමට ද කටයුතු කළ අවස්ථාවේ දී දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් ද ඇති විය.

තමන් කිලෝවක් රුපියල් 50 බැගින් වී මිලදී ගත්තේ සහල් කිලෝවක් රුපියල් 98ට විකිණීම සඳහා රජයත් සමඟ පූර්ව එකඟතාවකට පැමිණ බවත් දැන් රජය විසින් රුපියල් 90 බැගින් සහල් විකිණීමටැයි කීම අසාධාරණ බවත් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන එහිදී අවධාරණය කර සිටියේය.

"දැන් ඔබතුමා මට කියන්නකො රුපියල් 50ට අරගෙන 90ට දෙන්න බැරි නම් මං මොකද කරන්නෙ ? දැන් මේ ප්‍රශ්නෙ ඉවර කරන්නම්, අපි අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි ඉල්ලන්නේ.

අපි රජයත් එක්ක එකඟවෙලා රුපියල් 98ට හාල් විකුණන්න තමයි අපි වී ගත්තේ. ඒක අරගෙන ඒ වී ටික ස්ටොක් කරලා, ඒකට පොළී වැටිලා අරවා මේවා ඔක්කොම කරලා කොස්ට් එක උඩට යද්දි ආණ්ඩුව 90 කරපුවාම මෝල වහලා හිරේ යනවා හොඳයි...

ඔබතුමා කියන කතාවට මම ඒකට එකඟ වෙන්නෙ නෑ. රොෂාන් රණසිංහ කරන්නෙ ඡන්දෙ. ඒ මිනිහා මහවැලි ඇමති නම් වී අලෙවි මණ්ඩලය එයාගෙ යටතේ නම් තියෙන්නෙ ඒ මිනිහා පොලොන්නරුවෙ ඇමතියෙක් නම් එයාට  ඔළුව තියෙනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනෙ හාල් මිල වැඩි කරන්න.

ඌ මේ හාල් මිල අඩු කරපුවාම වී මිල අඩුවෙනවා කියන එක වී අලෙවි මණ්ඩලය බාර ඇමතියා දන්නෙ නෑ. ඒවාගේ හරක් දේශපාලනයක් මේක" යනුවෙනුයි ඩඩ්ලි සිරිසේන එහිදී සඳහන් කළේය.

හිටපු හමුදා ප්‍රධානියකු 50 දෙනෙකුට වැඩි පිරිසක් සමග 'අරලිය' සහල් මෝලට කඩා වැඩිම සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී ඩඩ්ලි සිරිසේන පැවසුයේ, තමන්ගේ වී මෝලට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැමිණියේ තමන් විසින් කළ ආරාධනයක් මත බවයි. ''වී හංගගෙන ඉන්නවද කියල හොයලා බලන්න එන්න කිව්වේ මම'' ඔහු කියා සිටියේය.

ඩඩ්ලිගේ FB සටහන : ''ජනාධිපති හා රජය පත්වන අපහසුතාවය ගැන කනගාටුයි''

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''වී අලෙවි මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි වගකීම් සහගත රජයේ ආයතන වල නිසි නියාමනයක් සහ ක්‍රමවේදයක් නොමැතිකමෙන් අතිගරු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුලු රජය පත්වන අපහසුතාවය සම්බන්ධයෙන් මා හට ඇත්තේ බලවත් කණගාටුවකි.

නිවැරදි නොවන දත්ත හා මූලාශ්‍ර මත පදනම්ව, ස්වෝත්සාහයෙන් නැඟීසිටි මා වැනි දේශීය ව්‍යවසායකයෙකු සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනිසි බියක් ගොඩනඟන ඇතැම් අවස්ථාවාදී පිරිස් සහ කල්ලි පිළිඹඳව මේ මොහොතේ මා සිටින්නේ දැඩි කළකිරීමකිනි.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින බංකොලොත් දේශපාලඥයෙකු විසින් ස්වකීය දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා 'පුලතිසියේ ජීවනාලිය' බඳු මෙම ව්‍යාපාරය දේශපාලනය නැමති මඩගොහොරුව වෙත ඈඳා ගැනීම තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානයද හැකි ඉක්මණින්ම යොමුවේවා'යි ප්‍රාර්ථනය කරන්නේ ඒ නිසාය.''

(ද ලීඩර් )