Language Switcher

V2025

පාරිභෝගික මුදලින් විදුලිබල මණ්ඩලයේ ලොක්කන්ගේ බදු මුදල් ගෙවීම : මේ ආණ්ඩුවත් ඉඩදීලා !

නීති විරෝධී වන  විදුලි පාරිභෝගිකයාගේ මුදලින් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ බදු මුදල් ගෙවීමට මෙම රජයත් තීරණය කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර ලංවිම නිළධාරීන්ගේ බදු වංචාව අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට යන බවත් සඳහන් කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ලංවිම ඉංජිනේරුවන් ඇතුළු ඉහල නිළධාරීන් විසින් ගෙවිය යුතු උපයන විට බදු  ගෙවීම ඔවුන්ගේ වැටුපෙන් අයකර ගන්නවා වෙනුවට විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගෙවීම මෙතෙක් සිදු කර ගෙන ගියේ නීති විරෝධීවය.

වැටුප් පරිමාණ වලට අනුව සියළුම රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ගෙ වැටුපෙන් උපයන විට ගෙවන බද්ද අඩු කර දේශීය ආදායම්දෙපාර්තමේන්තුවට අදාල ආයතනය විසින් ගෙවිය යුතුවීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

එහෙත් ලංකා විදුලි බලමණ්ඩලය විසින් මේ දක්වා කර ඇත්තේ සිය සේවකයින්ගේ ආදායම් බදු විදුලිපාරිභෝගිකයින්ගෙන් අයකර දේශීය දෙපාර්තමේන්තුවට ගෙවීමයි. මෙය අදාල බදු පනත උල්ලංඝණය කිරීමකි.

මේ ආකාරයට බදු පනත උල්ලංඝනය කරමින් ලංවිම ඉංජිනේරුවන්ඇතුළු ඉහල නිලධාරීන් විසින් වංචා කර ඇති බදු ප්‍රමාණය රුපියල් කෝටි 500 ඉක්මවයි. මෙම බදුවංචාවට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂමණ්ඩලය හා සාමාන්‍යාධිකාරිවරයා ඝෘජුව සහාය දක්වා ඇත.

විගණකාධිපතිතුමා විසින් 2015 වසරේ සිට මෙම බදු වංචාව හෙලි කර ඇතත් යහපාලන රජය මෙම බදු වංචාවට සහාය දක්වමින් විගණාකාධිපතිවරයාගේ නිර්දේෂ යට ගසා ඇත.

මේ බදුවංචාව යටතේ වසරකට රුපියල් මිලියන 400කට අධික බදු මුදලක් විදුලිපාරිභෝගිකයින් මත පැටවී ඇත.  නව රජය බලයට පත්වීමෙන් පසුව උපයන විට බද්ද වෙනුවට ඝෘජුවම අදාල නිලධාරියා විසින් සිය අදායම් බද්ද ගෙවිය යුතු ක්‍රමයක් හදුන්වා දී ඇත. කෙසේ වෙතත් එම බද්ද ද ලංවිම නිලධාරීන් වෙනුවෙන් ලංවිම විසින් ගෙවීමට යෝජනා කර තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය කාලයේ උපයන ලංවිම විසින් ගෙවන ලද බද්ද නව රජය යටතේ ද ලංවිම විසින්ම ගෙවීම සදහා පිඹුරුපත් සකසා අවසන් කර ඇත.

ලංවිම සභාපතිවරයාගේ දේශපාලන වුවමනා ඉටුකරගැනීම සදහා ලංවිම ඉහල නිලධාරීන්ට ලබාදෙන මේ බදු සහන වරදානය අවසානයේ ගෙවීමට සිදුවන්නේ මෙරට දුප්පත් විදුලි පාරිභෝගිකයාට වේ. රජයට අය විය යුතු බදු මුදල් රජයේ මුදලින් ම ගෙවීමේ තීරණය ගත් ලංකා විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය තුල මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ද වේ.

බදු පනතට හා නීතියට එරෙහිව නිලධාරීන්ගේ ආදායම් බදුරජයේ මුදලින් ගෙවීමට ගත් තීරණයට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයා කල යුතුව ඇත්තේ විරෝධය පල කිරීමය. එහෙත් මෙම බදු වංචාව පිළිබද තීරණය භාණ්ඩාගාර නියෝජිතයාද එකගතාවය පල කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරන ලංවිම පාලන අධිකාරියා හා එහි ඉහල නිලධාරීන්ට එරෙහිව වහා නීතියක්‍රියාත්මක කල යුතු ය. 

මෙම බදු වංචාව නැවත්වීම සදහා රජය තීරණය නොකලහොත් විදුලි බිල්පත් නොගෙවීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට මෙරට ලක්ෂ 65ක් වු විදුලි පාරිභෝගිකයින් පියවර ගත යුතුව ඇත.

ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මාසයක වැටුප කොරෝනා අරමුදල සදහා පරිත්‍යාග කරන ලෙසයි.

මෙරට බහුතරයක් රජයේ සේවකයින්ගේ වැටුප රැපියල් 35000.00 පමණය. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරියෙකුගේ වැටුප රැපියල් ලක්ෂ දෙකකට හෝ තුනකට වඩා  වැඩි ගණනකි.

නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරීන්ගේ ආදායම් බදු මුදල් ගෙවන්නේ විදුලි පාරිභෝගිකයාගෙන් මුදල් ලබා ගෙන රජයයි. රොබුන් හුඩ් පොහොසතුන්ගෙන් මුදල් ගෙන දුප්පතුන්ට බෙදා දුන් අතර පී.බී ජයසුන්දර කරන්නේ දුප්පතුන්ගෙන අරගෙන පොහොසතුන්ට ලබා දීමය. ජනාධිපතිතුමණි වහා මැදිහත් වන්න.