Language Switcher

V2025

ආණ්ඩුවෙන් ගෙන්වන්න තීරණය කරන තුරු රටවිරුවන් මරණයට දින ගනිමින් සිටියි !

‘රටවිරුවන්’ ලෙස විදේශයන්හි සේවය කරන ලාංකිකයන් නම් කරමින් ප්‍රචාරක වාසිය හිමිකර ගන්නා ආණ්ඩුව, කොරෝනා වසංගතය හමුවේ තමන් සම්බන්ධ ඇත්ත ආකල්පය අනාවරණයකර ඇති බව විදේශ ශ්‍රමිකයෝ පවසති.

වසර 4ක් පමණ මැදපෙරදිග රාජ්‍යයක සේවය කළ නුවන් චින්තකගේ අත්දැකීම වන්නේ වසංගත අවදානමෙන් ගැලවෙන්නට ලංකාවට යන්නට අවස්ථාව සලසන ලෙස තමන් දිගින් දිගටම ලංකා තානාපති කාර්යාලයට කළ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවය. ජාඇල පදිංචි පවුලක ඒකම ආරක්ෂකයා සහ දෙදරු පියකුවන නුවන්, මැදපෙරදිග ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම නවතා දැමීමට ආණ්ඩුව තීරණය කිරීමට මාස දෙකකට පෙර කළ ඉල්ලීම නිෂ්ඵලව ගිය බව විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත. ඒහෙත් තානාපති කාර්යාල නිලධාරින් තමන්ගෙන් පලිගැනීමක් සිදුකරනු ඇතැයි බියෙන් තමන් සිටින රටේ නම හෙළි නොකරන ලෙස ඔහු මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා ඇත. තානාපති කාර්යාලයේ අනුකම්පාව හැර අන් කිසිදු සහනයක් තමන්ට නොමැති බව පවසන ඔහු පවසන්නේ ලංකාවට පැමිණීමට අවස්ථාව සලසන්නේ නම් මාසයක් වුවත් නිරෝධායනයට ලක්වීමට කැමති බවය. මැදපෙරදිග රටවල දිනෙන් දින කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යද්දී මරණයට දින ගනිමින් සිටින්නට සිදුවන තත්වයක් ඔවුහු දකිති.

වාර්ෂිකව ලක්ෂ දෙකක් පමණ මැදපෙරදිග සේවයට යන ලාංකිකයන් අතුරින් බහුතරයක් ගෘහසේවිකාවන් ලෙස යන කාන්තාවන්ය. මේ වනවිට මැදපෙරදිග රටවල් කිහිපයක ලක්ෂ 17ක් පමණ ලාංකිකයන් සේවයකරන අතර නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර විදේශගතවූවන්ට නැවත ලංකාවට පැමිණීමේදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැත. ලංකා තානාපති කාර්යාල සහාය නොමැති වුවහොත් ඔවුන්ට මැදපෙරදිග රටක නීති අංශවලට හසුවීමෙන් සිරගතවීම මිස වෙන ඉරණමක් හිමි නොවේ. මැයි 25 වැනිදා වනවිට රටවල් 20ක සේවය කළ ලාංකික ශ්‍රමිකයන් 5500ක් පමණ මෙරටට පැමිණියද තවත් 50,000ක් පමණ ලංකාවට ඒන අපේක්ෂාවෙන් තානාපති කාර්යාල සහාය ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒහෙත් මෙරටට පැමිනි විදේශ ශ්‍රමිකයන් 157ක් කොරෝනා ආසාදිතයන්වීමත් ලංකාවේ සෞඛ්‍ය සේවයේ පහසුකම් අවමවීමත් නිසා තවදුරටත් විදේශගත ලාංකිකයන්ට මව්බිමේ සහාය හිමි නොවන තත්වයක් ඇතිව තිබේ. මේ අතර මැයි 19 ලංකාවට කැඳවාගෙන ආ ශ්‍රමිකයන් 466 දෙනකු අතරින් 70ක් ආසාදිතයන් බව හඳුනාගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ලාංකිකයන්ට, කරුණු පැහැදිලි කරමින් ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් නවාතැන් පහසුකම් සලසන්නට තානාපති කාර්යාලවලට උපදෙස් දී ඇති බවය. ඒහෙත් ඔවුන් නවාතැන් ගනු ඇත්තේ ආසාදිතයන් හා ආසාදිත නොවන අය වෙන් කිරීමකින් තොරවය. ලංකාවට ගෙන්වා ගැනීම නතර කිරීමට හේතුව ලෙස ආණ්ඩුව පවසන්නේ මෙරට සෞඛ්‍ය පහසුකම්වල සීමාව පිළිබඳ ප්‍රශ්නයයි. දැඩි සත්කාර ඇඳන් 500ක් පමණක් පවතින ලංකාවේ රෝහල් පද්ධතියෙන් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඇඳන් 400ක් පමණක් බව ඒම පැහැදිලි කිරීමේදී සඳහන් කෙරිනි. දැනටමත් දැඩි සත්කාර ඒ්කක ඇඳන්වල තබාගන්නට නොහැකි සංඛ්‍යාවක් ආසාදිතයන් ලංකාවේ සිටින බව සෞඛ්‍ය බලධාරින් පවසා ඇත.

කුවේට්හි සේවය කරන ලාංකික කාන්තාවන් සිය ගණනක් තමන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ආයාචනා කරති. කුවේටයට පැමිණ සිටින ලාංකිකයන්ට කොරෝනා වැලඳීමේ අනතුරක් ඇති බව පවසන ඔවුන් තමන් ලංකාවට පැමිණ රැකවරණ පතන්නේ නැතිව කුමක් කරන්නදැයි විමසති. ඒවැනි කාන්තාවන් 10 දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුනේත්‍රා පැවසුවේ වෙනත් රටවල් තම පුරවැසියන් ගෙන්වා ගත් තත්වයක ලංකාව මෙවැනි දරදඬු පිලිවෙතක් අනුගමනය කිරීම වේදනා සහගත බවය. තමන් ඒනතුරු මග බලා සිටින දරුවන් හා පවුලේ සාමාජිකයන්ට මළසිරුරවත් දකින්නට නම් ලංකාවට යා යුතු බව මාධ්‍යවේදින් හමුවේ වැලපෙමින් ඔවුහු කියා සිටියහ.

බොහෝ විදේශ ශ්‍රමිකයන් තානාපති කාර්යාලයේ රැකවරණය නොමැතිකමින් කුලි පදනමෙන් ගත් කාමරවල කණ්ඩායම් ලෙස පදිංචිවී සිටිති. යාබද කාමරවල ජීවත්වන පුද්ගලයන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබියදී අවදානම සහිතව වාසය කරන්නට ඔවුන්ට සිදුව ඇත. නැවත ලංකාවට යවන වැඩසටහනක් ක්‍රියාත්මකවන තුරු ඔවුන් නවාතැන්වල රඳවන බව විදේශ අමාත්‍යංශය පවසනවිට හෙළිවන්නේ විදේශගත ශ්‍රමිකයන් මුහුණ දෙමින් සිටින මෙම අවදානම සම්බන්ධ කිසිදු සැළකිල්ලක් දක්වා නැති බවය.

මාස දෙකක පමන සිට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විදේශ සේවා අමාත්‍යංශයට ආයාචනා කරන ‘රටවිරුවන්’ මරණය තෙක් නවාතැන්පළවල රඳවා මෙරට කොරෝනා ආසාදිතයන් අවම කිරීමේ කීර්ති නාමයක් ගන්නට ආණ්ඩුව අපේක්ෂා කරයි. ඉදිරියේ එළඹෙන මහමැතිවරණයේදී ආණ්ඩුවේ ඒම පිළිවෙත් රටට වාසියක්ද අවාසියක්ද යන්න තීරණය කළ යුතු ජනතාවය.

(ලංකාවිව්ස් )