මෙරට මුහුණදෙන දරුණුම විදෙස් විනිමය අනතුර අත ළඟ : ඇමති බන්දුල සාක්ෂි !

මෙරට මුහුණදෙන දරුණුම විදෙස් විනිමය අනතුර අත ළඟ : ඇමති බන්දුල සාක්ෂි !

ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුදයට රට මුහුණදී ඇති බව  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ පසුගිය 28 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින්ය.

මෙම විදේශ විනිමය අර්බුදය නිසා ආනයන සීමා කිරීම සඳහා පැනවූ ගැසට් නිවේදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එනපොට හොඳ නැත !

සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ ශ්‍රී ලාංකීය විදෙස් ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලා එන ක්ෂේත්‍ර වන නමුත්  COVID-19 ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත් සමග එම ප්‍රධාන අදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත.

එමෙන් ම රට තුළ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම ද ඇණහිට තිබේ. මේ තුළ තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායම ද ශ්‍රී ලංකාවට අහිමි වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව, යුරෝපය ඇතුළු වෙළඳපොල අහිමිවීම තිබේ. එමෙන්ම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය චීනය ඇතුළු රටවලින් ලබා ගැනීමේ මාර්ග ද දැන් අහිමිවී ඇත.

2020 වසරේ ජනවාරි මාසයේ අපනයන අදායම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1005 දක්වා 3.2%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රියල් 03 වෙනිදා නිකුත් කළ ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2020 වසරේදී ජනවාරි මාසය තුළ ආනයන වියදම පෙර වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1735 දක්වා 4.8%කින් ඉහළ ගොස් තිබේ.

රටේ ප්‍රධාන අදායම් මාර්ග අහිමි වූ පසුබිමක සෞඛ්‍ය පහසුකම් සැලසීම හා අත්‍යවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට සහ මේ වසර තුළ නියමිත ණය ගෙවීමට රජයට සිදුවේ.

රුපියල් ට්‍රිලියන 12.89ක ණයක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2020 පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12.89කි.

ඉන් රුපියල් ට්‍රිලියන 6.5ක් දේශීය වශයෙන් ලබා ගෙන ඇති අතර තවත් රුපියල් ට්‍රිලියන 6.39ක් විදේශීය ණය වේ.

ඉන් මේ වසර තුළ ගෙවීමට ඇති ණය මුදල ගෙවීමට සහන කාලයක් ලබා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඇමති බන්දුල කියන කතාව : 'බරපතල තත්වයක්'

මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා රට තුළට විදේශ විනිමය ගලා ඒම අඩුවී ඇති බවත්, විදේශ විනිමය අර්බුදයට ගත් ආනයන සීමා කිරීමේ පියවර සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එම ගැටලු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ හැකි බවත් ගුණවර්ධන ඇමතිවරයා 28 වනදා වැඩිදුරටත් පැවසිය.

වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන අස්ථාවර තත්වය හමුවේ රටට ඇතිවන පීඩනය අවම කර ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මෙම ආනයන සීමා කිරීම කළ බවත් ඔහු  ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න