Language Switcher

V2025

විදුහල්පතිවරුන් කොරෝනා නීති කඩලා !

කොරෝනා වසංගතය මැඩීම වෙනුවෙන් බලපවත්වන නීති විදුහල්පතිවරුන් විසින් උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිල්ලක් ලංකා ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වෙත සිදුකර ඇත.
 
ලිඛිතව සිදුකර ඇති මෙම පැමිණිල්ල තුළ අදාළ විදුහල්පතිවරුන් විසින්  කොරෝනා නීති උල්ලංඝණය කළ පාසල් කිහිපයක් ද  සඳහන් කර ඇත.
 
කොතලාවල පුර විද්‍යාලය , නුගේගොඩ ශාන්ත ජෝන් , මාම්පේ ධර්මරාජ යන පාසල්වල විදුහල්පතිවරුන් ලංකා ගුරු සේවා සංගමය විසින් ප්‍රසිද්ධියේ චෝදනා එල්ලකර පැමිණිලි කර ඇත.
 
මේ සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
 

ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ලේකම්තුමනි,

#කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් බප/පිළි කොතලාවලපුර විද්‍යාලයේ විදුහල්පති  ක‍්‍රියා කිරීම සම්බන්ධවයි. !


ඉහත විද්‍යාලයේ විදුහල්පති විසින් 2020. 05. 21 දින තම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය පාසලට කැඳවීමත්, ඒ වන විටත් පාසල් භූමිය තුල නාවික හමුදා කඳවුරක් පැවතීමත් පසුගිය දිනක එම කඳවුරේ නාවිකයකු කොරෝනා රෝගියකු ලෙස හඳුනාගැනීමත් යන කරුණු හේතුවෙන් ඇති වී තිබෙන අන්දෝලනාත්මක තත්වයට වගකිවයුත්තේ කවුරුන්ද පිළිබඳ සොයා බැලිය යුතුය.
 
පාසල තුල නාවික හමුදා කඳවුරක් පවතින පසුබිමක් තුල විදුහලේ ආචාර්ය මණ්ඩලය උක්ත දින කැඳවීමට ගෙන ඇති තීරණය පවතින කොරෝනා නීතිරීති  උල්ලංඝනය කිරීමක් බව ඉතා පැහැදිලිය.

මේ හේතුවෙන් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයනුත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා සමීපතයන් බලවත් අපහසුතාවයට පත්වීමත්, ඔවුන් වෙත සමාජයෙන් මතුවන බලපෑමත් පිළිබඳ අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේත්, දේශපාලන අධිකාරියේත් විශේෂ අවධානය යොමු කරවමු.

අප සංගමය වෙත වාර්තා වී ඇති අන්දමට දිවයිනේ පාසල් බොහොමයක විදුහල්පතිවරුන් කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් ඉතා අත්තනෝමතික ආකාරයට පාසල්වල ගුරු මණ්ඩල රැස්කිරීම්, දෙමාපියන් රැස්කිරීම්, දරුවන් පාසලට කැඳවීම් සිදුකර ඇති අතර තවදුරටත් එසේ සිදුකරමින්ද පවතී. පළාත් අධ්‍යාපන බලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් මේ පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීමත්, නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් පාසල් මට්ටමින් කොරෝනා නීතිරීති උල්ලංඝනය දිගින් දිගටම සිදුවෙමින් පවතී.
 
මෙවැනි කොරෝනා නීති රීති උල්ලංඝනය කිරීම්වලට තවත් උදාහරණ කිහිපයක් පහත පෙන්වමු.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පසුගිය දිනක ගුරුවරුන් කැඳවා සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කිරීමකින් තොරව ගුරු රැස්වීම් පවත්වා ඇති අතර, බප/පිළි/මාම්පේ ධර්මරාජ විදුහලේද මේ ආකාරයේ ගුරු රැස්වීම් පවත්වා ඇත්තේද කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් බව පෙන්වා දෙමු.

ඉහත කී සිද්ධීන් පිළිබඳව දැඩි අවධානය යොමුකරන මෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින අප සංගමය පවතින වසංගත තත්වය තුල අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධිමත් උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිමු. ඉහත තත්වය කඩිනමින් පාලනය නොකළහොත් පාසල් මට්ටමින් කොරෝනා වසංගතය ව්‍යාප්තවීම දක්වා මෙය වර්ධනය විය හැකි බවද පෙන්වා දෙමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය.