කොරෝනා වෛරසය හමුවේ පීඩාවට පත් ජනතාවට රුපියල් 5000ක දීමනාවක් දුන් ආණ්ඩුව "ඒ දුන්න 5000 එක මාසයෙන් අය කර ගන්න උපක්‍රමයක් යෙදූ" බවට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ චෝදනා කරයි.
පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය පැවසුවේ, "ඒකක 35 ජලය භාවිත කළ මාර්තු මාසයේ රු.2186ක් ගෙවපු පුද්ගලයාට අප්‍රේල් මැයි එකතු කරලා ඒකක 55කට රු.5335ක බිලක් දෙනවා. ඒකක ගණන වැඩි වෙන විට ජල බිල වැඩි වෙන ආකාරයක් අපේ රටේ තියෙන්නේ. එක බිලකින් ආණ්ඩුව රුපියල් එක්දහස් ගණනක් වැඩිපුර අය කර ගන්නවා. විදුලි බිලත් එහෙමයි," යනුවෙනි.
ජල සහ විදුලි බිල් සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර දැඩි කතාබහක් ඇති වී තිබේ.
ඡායාරූප මූලාශ්‍රය,FACEBOOK
ඡායාරූප මූලාශ්‍රය,FACEBOOK
ඡායාරූප මූලාශ්‍රය,FACEBOOK
රු. 450 බිල රු. 7656ක් වූ හැටි

"මාර්තු මාසේ ජල බිල රුපියල් 450යි. මොක ද කළේ?. සාමාන්‍යයෙන් මාස දෙකක් ජනතාව ගෙදර රදවා ගැනීම හේතුකොටගෙන අප්‍රේල් සහ මැයි මාසෙ ජල බිල ඉහළ ගියා. හැබැයි මේගොල්ලො මොකක් ද කළේ? මාර්තුවල ම ජල බිල අප්‍රේල්වලට දැම්මා. මීටරේ කියවන්නෙ නැතුව මිල නියම කළා යුනිට් 18ක් පාවිච්චි කරල තිබුණ, 451යි. මාර්තුවලත් 451යි. අප්‍රේල්වලත් 451යි. ඊට පස්සෙ මැයිවලට බිලක් එවනව, 7656යි. මේ 451ක් ගෙවපු බිල මැයි මාසෙ 7656ක් වෙනව. ඇයි ඒ? අප්‍රේල් මාසෙ වැඩිපුර පාවිච්චි කරන ලද වැඩි ඒකක ප්‍රමාණය ද මැයි මාසෙට ඇතුළු කළා. සාමාන්‍යයෙන් අපි දන්නව ජල බිල හදනකොට ඒකක 5න් 5ට වගේ තමයි මිල වැඩි වෙන්නේ. ඒක පහෙන් පහට වැඩි වෙනව. ඒ නිසා අප්‍රේල් මාසෙ වැඩියෙන් පාවිච්චි කරන ලද ඒකක ප්‍රමාණයත් මැයි මාසෙට ඇතුළත් කරපුවාම එය අඩියෙ ම තියෙන රුපියල් 148ක් වෙන ඒකකයක මිලක් එයාට නියම වෙනව අවසන් බිලට. ඒ නිසා එයාගෙ බිල 7000ට වඩා වැඩි වෙනව."
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ, "ඇස්තමේන්තුවේ වරදක් ඇත්නම් අභියාචනයක් ඉදිරිපත් කළ හැකි," බවය.
"ජල බිල වැඩි වෙලා තියෙනව ලු අප්‍රේල් මැයි මාස දෙකේ, කියන්නෙ අනුර කුමාර දිසානායක. ජල බිල හදල තියෙන්නෙ ඇස්තමේන්තු ක්‍රමයට. ඒ ඇස්තමේන්තුව හදල තියෙන්නෙ ඊට පෙර අප්‍රේල්වලට පෙර මාසෙ. මාර්තු මාසෙ භාවිත කරපු ජල ප්‍රමාණ අනුව. ඒ ඇස්තමේන්තුවේ වරදක් තියෙනව නම් ඒක ගැන අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්."
ඒකක අනුව ජල බිල වැඩි වන හැටි !
දින 30ක ජල පරිභෝජනය වෙනුවෙන් ඒකක 75ට වඩා වැඩි වූ විට ජලය ඒකකයක මිල රු. 140ක් දක්වා ඉහළ යන අතර සේවා ගාස්තුව ද ඉහළ යයි.
ඡායාරූප මූලාශ්‍රය,WATERBOARD.LK
"අපේ කඩේ බිල මේ පාර රුපියල් 25000ත් පැනලා. අපි ලොකු අමාරුවක වැටිල ඉන්නෙ. කඩේ වහල තිබුණ මාස දෙකහමාරක්. ඉතිං අපි කොහොම ද එක පාර මේ බිල ගෙවන්නේ," පානදුර ප්‍රදේශයේ එළවළු වෙළෙදසලක් පවත්වාගෙන යන්නෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.
බණ්ඩාරගම පදිංචි කුමාර ධර්මරත්න ද ප්‍රකාශ කළේ, මෙවර ජල බිල කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශ භාර ඉන්ජිනේරු එච්.ඒ.එන්. හුලංදූව ආරච්චි ප්‍රකාශ කළේ, "අප්‍රේල් මාසයේ බිල ගණනය කිරීමට ක්‍රමයක් නොතිබූ හෙයින් මෙම ගැටලුව ඇති වී තිබෙන," බවය.
"ඇවිල්ල තියෙන බිල ගෙවන්න කියල තමයි අපි උපදෙස් දෙන්නෙ. මේ බිල්වල ගැටලු නිරාකරණය කළාට පස්සෙ ජනතාව වැඩියෙන් ගෙවන මුදල් ඒ ගොල්ලන්ගේ ඉදිරි බිල්වලින් අඩු කරනවා," ඔහු පැවසීය.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා ජල බිල් සහ විදුලි බිල්වල ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි කර තිබිණි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත්ගෙන් කළ විමසුමකදී ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, "විදුලි බිල ගණනය කිරීමේදී කළ වරද ම ජල බිල් ගණනය කිරීමේදී ද කර ඇති," බවය.
කෙසේ වෙතත්, ජල සම්පාදනය මහජන උපයෝගිතා කොමිසම යටතට මෙතෙක් ඇතුළත් කර නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් සෘජු පියවරක් ගැනීමට කොමිසමට හැකියාවක් නැතැයි ඔහු පැවසීය.
"මෙතන තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි, ගොඩක් පවුල්වල මාස දෙකක් තිස්සේ ආදායම් අහිමි වෙලා තියෙනවා. තවත් පවුල්වල ආදායම් අඩු වෙලා තියෙනවා. ඒ වගේ දුෂ්කර තත්ත්වයක පසුවෙන ජනතාවට එකපාර ලොකු මුදලක් ගෙවන්න කියලා කියන එක වැරදියි. ඊළග මාසවලින් ඒ මුදල් අඩු කළා කියල ජනතාවට සහනයක් සිද්ධ වෙන්නෙ නෑ. මොක ද සුළු මුදලක් ජලය වෙනුවෙන් වැය කරපු පවුලකට මුදල් අඩුපාඩු තියෙන වෙලාවක විසි තිස් ගුණයක ජල බිලක් ගෙවන්න කියන එක වැරදියි. විදුලි බිල් සම්බන්ධයෙන් නම් අපි උපදෙස් දීල තියෙනව, කිසි ම ආකාරයකින් විදුලිය කපා දැමීමක් කරන්න එපා කියලා."
(බීබීසී )

