Language Switcher

V2025

කොරෝනා ඉවර නෑ පවිත්‍රා : චීනයෙත් දෙවන රැල්ලක් ගැන බියක් !

කුවේට්හි සිට පැමිණ කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට සුව වී නිවෙස් බලා ගිය කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට  අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ ඇති අතර යළිත් අසනීප වීම හේතුවෙන් පසුගියදා (14) දිනයේ අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව වෛද්‍ය දුලාන් සමරවීර වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේවුවත් සෞඛ්‍ය අමාත්‍යවරිය මීට පෙර සඳහන් කර සිටියේ නිරෝධායන මධ්‍යස්ථාන හැර බාහිර සමාජයේ කොරෝනා අවධානම පහවගොස් ඇතුවා වැනි ප්‍රකාශයකි.

චීනයේ දෙවන රැල්ලද මේ ?

මේ අතර චීනයේ බීජිං නුවර අලුතින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් හේතුවෙන් එරට වසංගතයේ දෙවන රැල්ලක් සම්බන්ධව බියක් මතුව ඇත. ඒ සම්බන්ධව බීබීසී වාර්තාවක් පහත දැක්වෙයි.

චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා විය.

පසුගිය සෙනසුරාදා ද තවත් ආසාදිතයන් 36 දෙනෙකු සොයා ගනු ලැබුණේ විශාල තොග වෙළෙඳපොළක් තුළ සිදු කෙරුණු පරීක්ෂණවලිනි.

ඊට පෙර, දින 50ක් ඇතුලත බීජිං අගනුවරින් කිසිදු කොරෝනාවෛරස ආසාදිතයකු වාර්තා වී නොතිබුණි.

මෙම වසංගතය නැවත වතාවක් පැතිර යෑමේ අවදානම ඉතා ඉහළින් පවතින බැවින් දැඩි පියවර ගන්නා ලෙස චීනයේ උප අගමැතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

නව ආසාදිතයන් වාර්තා වූ බීජිං නුවර විශාලතම තොග වෙළෙඳපොලේ සාමාන්‍යාධිකාරීවරයා සහ නාගරික නිලධාරීන් කීප දෙනෙකු සේවයෙන් පහ කොට තිබේ.

මීට අමතරව අසල්වාසී පළාත් තුනකින් තවත් ආසාදිතයන් කීපදෙනකුම හමුවී ඇති අතර ඒ සියලු දෙනා බීජිං නුවර සමඟ සබඳතා පැවැත්වූ අය බව තහවුරු කරගෙන ඇත.

චීන මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉහත කී වෙළෙඳපොලේ මත්ස්‍ය වෙළෙඳ සැල් තුළ මසුන් කපන ලෑලි මත ද තිබී කොරෝනා වෛරසය සොයා ගෙන ඇති බව ය.

එම තොග වෙළඳ සැල් මගින් බෙදා හරිනු ලැබූ මසුන් තම රාක්ක වලින් ඉවත් කිරීමට බෙයිජිං නුවර ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් තීරණය කර තිබේ.

නව ආසාදිතයන් වාර්තා වූ තොග වෙළෙඳපොළ ආසියාවේ විශාලතම තොග වෙළඳපොළ ලෙස සැලකෙන අතර මේ වන විට එය වසා දමා ඇත. මීට අමතරව අසල්වාසී ප්‍රදේශ එකොළහකට ද දැඩි නීති රීති පණවා තිබේ.

ප්‍රදේශවාසීන්ට එහා මෙහා යාම සඳහා අවසර ලැබී ඇතත් භාණ්ඩ ප්‍රවාහනයට සහ සංචාරකයන්ට එම කලාපය තහනම් කර ඇත.

 112909306 cd80d86e 50e3 4c3e b05a 97d04b6c0d8e

නව ආසාදිතයන් වාර්තා වූ තොග වෙළෙඳපොළ අවට පවතින පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ. ප්‍රාථමික පන්ති නැවත විවෘත කිරීම අදට නියමිතව තිබූ නමුත් එය ද කල් දමා ඇති බව ග්ලෝබල් ටයිම්ස් වාර්තා කරයි.

බීජිං නුවරට සැපයන එළවළු සහ මාංශ වර්ග වලින් සියයට අසූවක් පමණ බෙදා හැරෙන්නේ මෙම තොග වෙළෙඳපොලෙනි. දිනකට මෙම වෙළෙඳපොළ තුළට දස දහස් ගණනක පිරිසක් පැමිණෙන අතර එය ඉතා ජනාකීර්ණ ස්ථානයකි.

චීනයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ මෙම තොග වෙළෙඳපොළ තුළින් සොයාගන්නා ලද කොරෝනාවෛරසය මෙතෙක් රට පුරා වාර්තා වූ කොරෝනාවෛරසය ට සමාන නොවන බව ය.

එම නිසා මෙය වෙනත් ප්‍රදේශයකින් එම ස්ථානය කරා පැමිණ ඇතැයි ඔවුහු අනුමාන කරති.

මෙම තොග වෙළෙඳපොළ තුළ සිටින සේවකයින් දස දහසකට අධික ප්‍රමාණයක් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වේ යන බිය පහළ වෙමින් පවතින්නේ බීජිං නුවර මෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය අතට පත් වෙමින් පවතිද්දී ය.

වසංගතය පාලනය කිරීම සඳහා නීති රීති හා සීමා පනවා තිබුණද චීන ජනතාව ප්‍රවේශම් සහගතව සිය රැකියා ස්ථාන කරා යාමට පටන් ගත් අතර පාසැල් යළි විවෘත විය.