දීමනා සහ අතිකාල කැපීම ට එරෙහිව තැපෑලෙත් විරෝධයක් !

දීමනා සහ අතිකාල කැපීම ට එරෙහිව තැපෑලෙත් විරෝධයක් !
ශ්‍රී ලංකා තැපැල් සේවයේ සෙනසුරාදා දින දීමනාව හා අතිකාල දීමනාවලින් 20% ක් කපාගැනීමට එරෙහිව  විරෝධය පල කිරීමට තැපැල් සේවා සංගමය  කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත්කරමින් එම  වෘත්තීය සමිතිය ප්‍රශ්න කරන්නේ  කරන්නේ සෙනසුරාදා දින දීමනාවෙන් හා අතිකාල දීමනාවලින් 20% ක් ආණ්ඩුවට කපාගන්නා බවට නිකුත්කර ඇති එකඟතා ලියවිල්ල අනුව තැපැල් සේවකයාගේ කපාගනු ලබන 20% යනු ඉතා විශාල මුදලක් නොවන බවත් එවැනි සොච්චම් මුදලකින් ආණ්ඩුවේ මුදල් අර්බුදය වසාගත හැකිද? යන්නත් ය.
 
මේ සම්බන්ධව නිකුත් කර ඇති නිවේදනය පහත දැක් වේ .
 
තැපැල් අමාත්‍ය
බන්දුල ගුණවර්ධන මැතිතුමා,
තැපැල් අමාත්‍යාංශය,
කොළඹ - 05.

ජනමාධ්‍ය නිවේදනයයි

ඇමතිතුමනි,

සෙනසුරාදා දින දීමනාව හා අතිකාල දීමනාවලින් 20% ක් කපාගැනීමට විරෝධය පලකිරීම.

තැපැල් සේවකයින් 2020. 06. 07 වන දින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියේය. ඊට හේතුවූයේ සෙනසුරාදා දිනය තැපැල් කාර්යාල වසා දැමීම හා ගොඩගැසී ඇති ලක්‍ෂ ගණනක් ලිපි, ලේඛන, පාර්සල් අදාල තැනැත්තන්ට භාරදීමට කඩිනම් පියවර නොගැනීමයි. මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය තැපැල්පතිතුමා සමග පැවති සාකච්ඡාවකදී 2020. 06. 12 දින අවසන් කරන ලදී. වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් කරන අවස්ථාවේදී වෘත්තීය සමිති සමග එකගතා ලියවිල්ලක් අත්සන් කරන ලදී. එම ලියවිල්ලට අප සංගමය අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළෙමු. එමෙන්ම එම ලියවිල්ලට අපගේ විරෝධය පලකර සිටිමු.

එම ලියවිල්ලෙන් කියවෙන්නේ සෙනසුරාදා දින දීමනාවෙන් හා අතිකාල දීමනාවලින් 20% ක් ආණ්ඩුවට කපාගන්නා බවයි. ආණ්ඩුව කටයුතු කරන ආකාරයට මුදල් අර්බුදයක් ඇති බව පෙනෙන්නට නැත. කියන ආකාරයේ අර්බුදයක් ඇත්නම් ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරු දක්වා වියදම් සීමා කිරීමක් නැත. ඔබතුමාගේ ඉන්ධන දීමනාව, යාන වාහන භාවිතය අඩුවක් නැත. ජනතා විරෝධය නොවන්නට මේ අවස්ථාවේ කෝටි ගණන් වියදම් කර ක‍්‍රීඩාංගනයක් ඉදිවනු ඇත. නිරෝධායන නීතිරීති කඩමින් රජයේ වියදමින් දින 5 ක් මුළුල්ලේ තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවය අභිෂේක මංගල්ලයක් දක්වා කරනු අප දුටුවෙමු. කොරෝනා පැමිණීමට පෙර තිබුණාට වඩා අද බඩු මිල ඉහළ ගොස් ඇත. අඩුකළ හැකි බව අපට හොඳටම පෙනෙන්ට ඇති ඉන්ධන මිල අඩුකරන්නේද නැත.

තැපැල් සේවකයාගේ කපාගනු ලබන 20% යනු ඉතා විශාල මුදලක් නොවේ. එවැනි සොච්චම් මුදලකින් ආණ්ඩුවේ මුදල් අර්බුදය වසාගත හැකිද?

තැපැල් සේවකයාගෙන් කපාගනු ලබන මුදල ඔබතුමාගේ ඉන්ධන දීමනාව හා වාහන නඩත්තු වියදමට පමණක් සෑහෙන මුදලක් වනු ඇත. එම නිසා වැටුප ණය වරිකයට සීමාවුනු තැපැල් සේවකයාගෙන් අඩු කිරීමට යෝජිත අතිකාල වලින් හා සෙනසුරාදා දිරි දීමනාවෙන් 20% ක් කපාගැනීමේ යෝජනාව ඉවත් කරගන්නා ලෙස කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
ඞී.එම්. විජේරත්න
ප‍්‍රධාන ලේකම්
ලංකා තැපැල් සේවා සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න