Language Switcher

V2025

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති නෝර්වේ පුරවැසි මාධ්‍යවේදියෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට !

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් සහ  මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් අද  (21) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි සේතුපරන් අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ප්‍රශ්නකිරීම්වලට ලක්කර ඇති බවත් වාර්තා වෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප්‍රමාද කළ ඔහු, ඊයේ (2020 ජුනි 20) මැදියම් රාත්‍රී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොස් ඇත්තේ යළි නෝර්වේ බලා යාමට ය.

කටාර් ගුවන් සේවය ට අයත් ගුවන් යානයකින් නෝර්වේ බලා යාමට සූදානම්ව සිටි සේතුපරන්ට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහුගේ ගමනට බාධා එල්ලවී ඇති බවත්, අද අලුයම 2.00 ට පමණ ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) ට යොමු කළ බවත් දැනගන්නට ඇත.

යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරනලද පැමිණිල්ලක් හේතුවෙන් මෙම පියවර ගත් බව ගුවන්තොටුපල නිලධාරීන් තමන්ට පැවැසූ බව සේතුපරන් 'smartsrilanka.lk' වෙබ් අඩවිය වෙත පවසා ඇත.

 ඒ අනුව, හෙට (ජුනි 22) වන දින කන්කසන්තුරේ පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව තමන්ට එල්ල කරන අභූත චෝදනා හා ගැහැට පිළිබඳව සේතුපරන් විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වෙතද පැමිණිලි කර තිබේ.

සේතුපරන් විසින් අද අලුයම සිය මුහුණුපොතේ තබා ඇති සටහනක් පහතින් පලවෙයි.

Screenshot 20200621 182223