මුලතිව් ඡන්දයට බාධා කරන මාර්ග බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම් !

මුලතිව් ඡන්දයට බාධා කරන මාර්ග බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම් !

මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් හා හමුදා මුරකපොලු පමණ ඉක්මවා පිහිටුවා තිබීම ප්‍රදේශයේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා පමුණුවනු ඇති බවට දේශපාලකයන් මෙන්ම ඡන්දදායකයන්ද බිය පල කොට සිටිති.

“ඡන්දයක් ප්‍රකාශයට පත් කර තිබෙන වෙලාවක මෙයාකාරයෙන් මුරකපොලු තිබීම අපේ ජනතාව මහත් පීඩාවට පත් කර තිබෙනවා,” යි වන්නි දිස්ත්‍රික් අපේක්ෂිකා ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා පවසන්නීය.

දෙමළ ජාතික සන්ධානයෙන් තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කියා සිටින්නේ ජනතාවගේ නිදහසේ ඔබමොබ යාමේ අයිතිය ආරක්ෂා කරමින් මැතිවරණ සමය තුල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය රැකීමේ වගකීමෙන් බැඳී සිටින රජය එම මුරකපොලු වහාම ඉවත් කළ යුතු බවයි.

“ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින සංදේශයක් මම නිල වශයෙන් මුලතිව් සහකාර කොමසාරිස්වරයාට බාරදුන්නා,” යැයි ඇය මාධ්‍යවේදීන් හා කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල භූමියේදීය.

හමුදා පාලනයකට අර ඇඳීමක් දැයි ප්‍රදේශවාසීන්ට බියක් !

කොරෝනා ආපදාවෙන් පසු දෙමළ පළාත් වල හමුදා මුරපොල වැඩි වෙමින් පැවතීම හමුදා පාලනයකට අර ඇඳීමක් දැයි ප්‍රදේශවාසීහු බිය පල කර සිටිති.

ඇඳිරි නීතිය බල පවත්වන්නේ නැති කාල වකවානුවල පවා මෙම මුරකපොලු පවත්වාගෙන යාම තම ගමන බිමන බරපතල ලෙස සීමා කරන බවට ඔව්හු මැසිවිලි නගති. ඔවුන් පවසන පරිදි, ගමනාගමනයේ යෙදෙන මහජනතාවගේ විස්තර මුරපොල වලදී එක් රැස් කෙරේ.

“හමුදා සීමා බන්ධන තවත් වැඩි කිරීමෙන් පෙනී යන්නේ මේ පලාත්වල වක්‍රාකාරයෙන් හමුදා පාලනයක් පවත්වාගෙන යන එකයි,” යනුවෙන් හිටපු උතුරු පළාත් මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ප්‍රදේශවාසීන් පවසන පරිදි A9 මහාමාර්ගයේ මාන්කුලම් හි කිලෝමීටර් දෙකක් ඇතුලත ආරක්ෂක කපොලු තුනක් ඉදිකර තිබේ. එකක් පිහිටා ඇත්තේ 574 බලසේනා මුලස්ථානය ඉදිරිපිටය. අනෙක ඊට මදක් එපිටින් පිහිටුවා ඇති අතර ඒ ආසන්නයේම පොලිස් මුර කපොල්ලකි.

මේ මුරපොල තුනේම වාහන නවත්වා පරීක්ෂා කිරීම මගීන්ට මහත් පීඩාවක් මෙන්ම ඔවුන්ගේ ගමනාගමනය පමා වීමටද හේතු වී තිබේ.

එමෙන්ම, පුදුකුඩියිරුප්පු සහ මුලතිව් අතර කිලෝමීටර 18 ක දුර ඇතුලත ඇති මුරපොල හතේම එකම ආකාරයේ සෝදිසි කිරීම් වලට යටත් වන්නට සිදුවී ඇති බව මගී ප්‍රවාහනයේ යෙදෙන්නෝ පවසති.

මුරපොල තුනේම වාහන නවත්වා පරීක්ෂා කිරීම:

කිලෝමීටර බාගයක් පමණ දිගැති වට්ටුවාහල් පාලම දෙකෙළවර යුද සහ නාවික හමුදා මුරපොල දෙකකි.

ඊට අමතරව ඉරට්ටෙයිවයික්කාල් හන්දිය, මාන්දුවිල්, පුදුකුඩියිරුප්පු නගරය සහ කයිවේලි වලද මුරකපොලුය.

මුලතිව්-පරන්තන් මාර්ගයේ කපොලු දෙකින් එකක් ඇත්තේ රෙඩ්බානා ප්‍රදේශයේය. අනික නෙතිලිආරු පාලමේය. මුලතිව් දිස්ත්‍රික්කය තුල පමණක් පරන්තන් පාරේ මුරකපොලු නමයක් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. ලැයිස්තුව තවත් දිගය.

පාසල් සහ කෝවිල් ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථානවල මුරපොල ඉදිකර තිබීම මැතිවරණ ප්‍රචාරක සමයේ අපේක්ෂකයන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට මහත් දුෂ්කරතා ඇති කරන බව ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා පවසන්නීය.

“කොරෝනා වයිරස් ලොක්ඩවුන් කාලේ දාපු චෙක්පොයින්ට් තාම ගලවලා නැත්තේ ඇයි? ජනතාවට බිය සැක නැතිව ඡන්දය සාධාරණ ආකාරයෙන් පවත්වන්න නම්, මේ මුරකපොලු වහාම ඉවත් කළ යුතුයි.”

(ද ලීඩර්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න