Language Switcher

V2025

වැරදි විදුලි බිල නිසා ජනතාව අමාරුවේ - පාඨලි

ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු සහ තෙල් මිල පහල ගොස් තිබියදීත්, ලංකාවේ විදුලි බිල අධික ලෙස ඉහළ දමා තිබෙන බවත්, කොවිඩ් වසංගතය නිසා විදුලි සහනයක් ලබාදෙන බව පැවසූ ආණ්ඩුව සම්පූර්ණ වැරදි ආකාරයේ ගණනය කිරීමේ ක්‍රමවේදයක් මත අධික විදුලි බිලක් ජනතාව ලබාදී තිබෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක  පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පැහැදිළි කිරීමක් කර තිබෙන නමුත් එහි කිසිම පැහැදිළි අවබෝධයක් ජනතාවට ලබාදී නොමැති බව ද  පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, මෙම නව විදුලි බිල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිවැරදි පැහැදිළි කිරීමක් ආණ්ඩුව විසින් මහජනතාවට කළ යුතු බව ප්‍රකාශ කර සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු අමාත්‍යවරයා,

ඔබ හැම දෙනාම දන්නව විදුලි ඒකක ගාණ වැඩිවෙනකොට අය කරන ගාණත් වැඩි වෙනවා. මාස තුනක එකපාර ගත්තහම විශාල ඒකක ගාණක් එනව. ඒක අරගෙන තුනෙන් බෙදුවයි කියල මාසෙක විදුලි බිල එන්නෙ නෑ. මේ විදුලි බිල් හැඳුවේ කවර ක්‍රමයටද කියල ජනතාවට කියන්න ඕන. මේක කරන්න තිබුණෙ, ඇඳිරි නීතිය දාන්න කලින් තිබුණ සාමාන්‍ය පරිභෝජනයට බිල් හදල දෙන එක මිසක් දැන් කරල තියෙන ක්‍රමය නෙමෙයි. විදුලි බිලට, ජල බිලට සහනයක් සහනයක් අනිවාර්යෙන් රටට දිය යුතුයි.

අද විදුලිය නිපදවන්න ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන්නෙ ගල් අඟුරු, තෙල් සහ ජලය. පහුගිය කාලේ තෙල් භාවිතය අඩු වුණා. දැන් ගල් අඟුරු මිලත්, තෙල් මිලත් පහලට වැටිල තියෙනව, නමුත් විදුලි බිල එහෙමමයි.

අපේ ආණ්ඩුව කාලේ විදුලි බිල මත පනවා තිබූ තෙල් බද්ද  අපි අයින් කළා. ඒ තෙල් බද්ද අයින් කිරීම නිසා රුපියල් 18.32 ක් වෙච්ච විදුලි ඒකකය රුපියල් 16 ට අඩු වුණා. ඒ කියන්නේ 2.32 ක සහනයක් විදුලි ඒකකයකට ලැබුණ. අද විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් පම්පෝරි ගැහුවට 2015 මගේ පාලනය යටතේ තමයි තෙල් සහනය ලබාදීල විදුලි බල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවෙ. ඒ නිසා තැන් තැන්වල පම්පෝරි ගහනවට වඩා අපිට වඩා හොඳට කරල පෙන්වන්න කියල මම ඒ නිලධාරීන්ට කියනව.

2015 අපේ රජයේ ඛනිජ තෙල් ඇමති වුණේ මම. අපි දවස් 13 ක් ඇතළත තෙල් මත රාජපක්ෂ පාලනය පනවා තිබූ බදු ඉවත් කළා.  එමගින් අපිට පුළුවන් වුණා පෙට්‍රල් ලීටරය ඔක්ටේන් 92 රුපියල් 150 ඉඳන් 117 ට අඩුකරන්න. ඔක්ටේන් 95 රුපියල් 158 ඉඳන් 128 ට අඩු කරන්න. ඩීසල් රුපියල් 111 ඉඳන් 95 ට අඩු කළා. සුපිරි ඩීසල් රුපියල් 135 ඉඳන් රුපියල් 110 ට අඩු කළා.

මේ අඩු කිරීම් නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබුණු රුපියල් කෝටි 65,000 ක ධනය අපි ජනතාවට ලබාදුන්නා, ආර්ථිකය ප්‍රාණවත් කරන්න. එහෙම කියල අපි ඛනිජ තෙල් සංස්ථාව වැට්ටුවෙ නෑ. හිතවතුන්ට ලබාදී තිබූ ටෙන්ඩර් අවලංගු කරල තරඟකාරී පදනම මත ටෙන්ඩර් කැඳවීම් කරල අපි ඛනිජ තෙල් සංස්ථාව මූල්‍යමය වශයෙන් ස්ථාවර කරන්නත් කටයුතු කළා.

අද මොකද වෙලා තියෙන්නෙ ? මීට දින කිහිපයකට කලින් තමයි ලංකාවට අලුත්ම තෙල් නැව ආවෙ. අද යම් ප්‍රමාණයකට තෙල් මිල වර්ධනය වෙලා තියෙනවා. තෙල් බැරලය ඩොලර් 35-40 සීමාවට ඇවිත් තියෙනවා. අද කොලොන්නාව පර්යන්තයට ඩීසල් පෙට්‍රල් දෙකම එන්නෙ රුපියල් 50 කට වඩා අඩු මුදලකට. නමුත් ඩීසල් විකුණනන්නෙ රුපියල් 104 ට, පෙට්‍රල් විකුණන්නෙ රුපියල් 137 ට. සහගහන තෙල් බද්දක් අද අපේ රටේ ජනතාවගෙන් අයකරනවා. අඩුම ගානෙ අපේ ආණ්ඩුව විසින් හඳුන්වල දීපු මිළ සූත්‍රයවත් ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ නිසා මේ රජයෙන් අපට සහන බලාපොරොත්තු වෙන්න බෑ.

එක්තරා පැත්තකින් ආදායම් බදු ගෙවන ධනු කුවේරයන්ට බදු සහන ලබාදුන්නා. රටේ සාමාන්‍ය ජනතාවට සහනය ලබා දෙන්න ඕන ක්‍රමය තමයි මේ තෙල් මිල අඩුකිරීම. මුදල් අච්චු ගසා බැංකු වලට සල්ලි දාන එකෙන් නෙමෙයි රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන්. ඒ සඳහා තියෙන ලේසිම පහසුම ක්‍රමය තමයි තෙල් මිළ අඩු කරන එක. ඒ මගින් සියලුම ආර්ථික ක්‍රියාවලියන් නැවතත් පුනර්ජනනීය වෙනව, ශක්තිමත් වෙනව. අපි සමගි ජනබලවේගය යටතේ විධිමත් මිළ සූත්‍රයක් හඳුන්වල දෙනව. මේ තෙල් බදු වල සහනය අනිවාර්යෙන්ම අපේ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ  අපේ ජනතාවට සහය ලබාදෙන්න අපි කටයුතු කරනවා. දැනටමත් අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්තය කියල තියෙනවා සෑම පවුලකටම අපි ඒ සහනය ලබාදෙනවා. ඒ අය ආර්ථිකය ශක්තිමත් කරගන්නකන් රුපියල් 20,000 ක සහනයක් මේ කෝව්ඩ් වසංගතය නිසා රැකියා අහිමි වෙච්ච, ස්වයං රැකියා අහිමි වෙච්ච සහ අනෙකුත් ආකාරයෙන් තමන්ගේ ආදායම් අහිමි වෙච්ච පිරිස් වලට ලබාදෙන්න.

අද වෙනකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක ගෙවල නෑ. විශ්‍රාම වැටුප් වර්ධක ගෙවල නෑ. මේව ඔක්කොම අපේ රජයෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදීපු බලගතු ශක්තියක්. පඩියට දීමනාවක් එකතු කරන එක තමයි වෙනද කලේ. මූලික වැටුප වෙනස් කළේ නෑ. අපේ රජය යටතේ අපි රුපියල් 10,000 කින් වැටුප් වැඩිකළා පමණක් නෙවෙයි සෑම කෙනාටම දීමනා ලබාදීම වෙනුවට මූලික වැටුපට ඒ දීමනා එකතු කළා. රජයේ සේවකයින් සාතිශය බහුතරයකගේ වටුප දෙගුණ වුණා. ඒ ක්‍රියාවලිය දැන් ජනවාරි මාසෙ ඉඳල නවත්වල.

අද වෙනකොට හෙදියො, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පාරෙ. සුවවිරුවො කීවට වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය සේවයේ අයට ඒ අවශ්‍ය දිරි දීමනා ආදිය කිසිවක් ගෙවන්නෙ නෑ. ඒ වගේම බිලියන 300 කට අධික මුදලක් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතිවලට ගෙවන්නෙ නැතුව තමයි අනෙක් සංවර්ධනය ගැන කතා කරන්නෙ.

අද දරුණු ඩොලර් හිඟයකින් පෙළෙනවා. සියලුම වර්ගයේ ඇතැම් ආනයන තහනම් කරල තියෙනවා. ඇතැම් ආනයන සීමා කරල ජනාධිපති ලේකම් අතට අරගෙන තියෙනවා නිල නොවන ආකාරයට. මොනවද ආනයනය කරන්නෙ, මොනවද සීමා කරන්නෙ කියල තීරණය කරන්න ඒ මගින්.

අද රටේ වාහන ගෙන්වන පිරිස්, භාණ්ඩ ගෙන්වන පිරිස් දරුණු අසහනයකට පත්වෙලා තියෙනව. කොව්ඩ් නිසා මාස තුනකට විතරක් නතර කරපු ආනයනය, පනවපු සම්බාධක දැන් දිගටම අරගෙන යනව. ඒ නිසා රටේ සංවර්ධනයටත්, රටේ පරිභොජනයටත් ඉතාම බලගතු ප්‍රශ්න මතුවෙන්න නියමිතයි.

අපි අපේ ජනතාවට පැහැදිළිව කියනවා, සමගි ජනබලවේගය යටතේ අපි බොහොම පැහැදිළි නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් යටතේ මේ රටේ වැඩකරන ජනතාවට සහන ලබාදෙනවා.

වෘත්තීය පිරිස්වලට අපේ රජය රුපියල් 15,000 ක දීමනාවක් ලබාදුන්නා. ඒ දීමනාවත් අද නතර කර තිබේ. අපි පැමිණි වහාම ඒ වෘත්තීය පිරිස්වලට ඒ රුපියල් 15,000 දීමනාව නැවත ලබාදෙනවා. වැටුප් වර්ධක ලබාදෙනවා. ඇතැම් රාජ්‍ය ආයතන, බැංකු වගේ ලාභ ලබන තැන්වල ලාභ ලැබුවට පස්සෙ ඒ ලාභයෙන් කොටසක් සේවකයින්ට දිරි දීමනා ලෙස ලබාදුන්නා. ඒවත් අද නතර කර තිබේ. ඒ සියලුම දිරි දීමනා නැවත අපි ලබාදෙන බවත් ප්‍රකාශ කරනවා.

ජනතාව පීඩාවට පත්කරන, ජනතාව හිර කරන, බදු බර ඉවත් කිරීම සඳහා, මුදල් අච්චු ගැසීම නෙවෙයි රට ආර්ථිකමය වශයෙන් ගොඩනගන වැඩපිළිවෙළකට සමගි ජන බලවේගය ඉදිරියේදී කැපවන බව ප්‍රකාශ කරන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අද (29) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.