Language Switcher

V2025

ටියුෂන් ව්‍යාපාරිකයන් සමග ජාතික විභාගවල දින නියම කරලා !

තනතුර හෑල්ලු කරමින් විභාග කොමසාරිස්වරයා උපකාරක පන්ති ව්‍යාපාරිකයන් සමග ජාතික විභාගවල දින තීරණය කිරීම විභාගවල ස්වාධීනත්වයට තර්ජනයක් බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව චෝදනා කරයි.

මේ බව සඳහන් කරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
 
වෘත්තීය සමිති චෝදනාව ! 

උපකාරක පන්ති ව්‍යාපාරිකයන් හා ජනාධිපතිවරයා අතර 2020.06.29 දින පැවති සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී තිබුණි. මෙම සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වීම තුළින් ඔවුන් තම තනතුරුවල ස්වාධීනත්වය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර ඇත.

මෙම උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතු කරයි. මුදල් ඉපයීම එකම පරමාර්ථය කර ගත් උපකාරක පන්ති මාෆියාව සමස්ත පාසල් අධ්‍යාපනයටම බරපතල හානියක් අත්කර දී ඇති අතර, පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ජාතික විභාගවල බරපතල විභාග වංචා සිදුවූයේ උපකාර පන්ති ව්‍යාපාරිකයන්ගේ තරගකාරීත්වය හා ව්‍යාපාරික අරමුණු නිසාය.

විභාග කොමසාරිස් තනතුර ස්වාධීන එකකි. එවැනි නිලධාරියෙකු උපකාරක පන්ති ව්‍යාපාරිකයින්ගේ සාකච්ඡාවකට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගිවීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම විභාග කොමසාරිස් ධූරය බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමකි. ජනාධිපතිවරයා සිය බලය භාවිතා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වැඩබලන පොලිස්පති, අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ලේකම් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡුාවට සහභාගි කරවීම තුළ පැහැදිලි වන්නේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම නිලධාරීන් දැඩමීමා කරගෙන ඇති බවයි. එසේම මෙය නිදහස් අධ්‍යාපනයේ ස්වාධීනත්වයට ද බරපතල අත පෙවීමක් බව පෙන්වා දෙමු.  

කෝවිඞ් 19 වසංගත තත්වය මත කල් දැමුණු උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපනඥයින්, පාසල් පද්ධතියේ විදුහල්පතිවරු සහ ගුරුවරු සමගය. මේ දක්වා එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු කර නැත. විටින් විට විභාග දින වෙනස් කරමින් ආණ්ඩුව ලක්ෂ තුනකට අධික විභාග අපේක්ෂකයින් අපේක්ෂා භංගත්වයට හා මානසික පීඩනයකට ලක්කර ඇත. මාස තුනකට වැඩි කාලයක් පාසල් වසා තිබියදී ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.

අධ්‍යාපනයේ අරමුණු පසෙකලා අධ්‍යාපන පද්ධතියට බරපතල විනාශයක් කර ඇති මෙම උපකාරක පන්ති මාෆියාව සම්බන්ධයෙන් අධ්‍යාපනඥයන් විටින් විට අදහස් පළ කර ඇති අතර, රජයේ පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවට උපකාරක පන්ති ප‍්‍රවර්ධනයට ආණ්ඩුව කටයුතු කිරීම අධ්‍යාපනයේ අරමුණු විනාශ කිරීමකි.

මේ තත්වය තුළ මෙවැනි සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයා සහභාගිවීම ජාතික විභාගවල ස්වාධීනත්වයට එල්ල කළ බරපතල තර්ජනයකි. තම තනතුරේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරමින් ජාතික විභාගවල ස්වාධීනත්වය  තර්ජනයට ලක් කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාට මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට කැඳවීම සම්බන්ධයෙන් ද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව දැඩි විරෝධය පළ කර සිටී.
 
මෙයට,

ජෝසප් ස්ටාලින්
කැඳවුම්කරු
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව