Language Switcher

V2025

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට මානව හිමිකම් මර්දනය යොදා නොගන්න – මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ කන්ඩායම

කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය යන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම වෙනුවෙන් එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනි, රීටා ප්‍රෙන්ච් 44 වන සැසියේදී ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් 30/1 ඉවත් වීම පිළිබඳ සිය දැඩි කණස්සල්ල පළ කළේය. 

ඒ අතරම, ශ්‍රී ලංකාව තුළ වගවීම, සංහිඳියාව සහ සියලු දෙනාගේ සාමය යන යෝජනාවේ අරමුණු ඉදිරියට ගෙනයාමට තමන් කැපවී සිටින බව නැවත අවධාරණය කළහ. 

තව ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවෘතව හා වගකීමෙන් යුතුව පවත්වාගෙන යාම සහතික කරන ලෙස  ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින එම ප්‍රකාශය වසංගතය මැඩපැවැත්වීම සඳහා ගැනෙන අතිවිශේෂ ක්‍රියාමාර්ග මානව හිමිකම් ආපසු හැරවීමට යොදා නොගත යුතු බවද සඳහන් කරයි.

සම්පූර්ණ ප්‍රකාශය:

ස්තූතියි සභාපතිනියනි,

මෙම ප්‍රකාශය කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය,ටන රටවල ශ්‍රී ලංකාව පිළිබඳ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කරමි.

ඇයගේ වාර්තාව ගැන මහ කොමසාරිස්වරියට අපි ස්තූතිවන්ත වෙමු.

යුද්ධයේ හානිකර විපාක ආමන්ත්‍රණය කිරීම සහ රට තුළ තිරසාර සාමයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ වැදගත් හවුල්කාරිත්වයක් උදෙසා ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවට තවදුරටත් සහාය නොදක්වන බව පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා ආන්ඩුව ප්‍රකාශ කළේය.

මෙම වර්ධනය පිළිබඳ අපගේ දැඩි කණස්සල්ල අපි නැවත අවධාරණය කරමු. ශ්‍රී ලංකාව තුළ වගවීම, ප්‍රතිසන්ධානය සහ සියලු ඇතුළත් කරගන්නා සාමය යන යෝජනාවේ අරමුණු ඉදිරියට ගෙන යාමට අපි දැඩි ලෙස බැඳී සිටිමු.

දේශීය ක්‍රියාදාමයන් තුළින් ඉහත කී මූලධර්ම ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකා රජය තමන්ගේම කැපවීම ප්‍රකාශ කර ඇති අතර, ඕනෑම වගවීමේ යාන්ත්‍රණයක් සඳහා වින්දිතයිනගේ විශ්වාසය තිබිය යුතු බව අපි අවධාරණය කරමු.

මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව කොවිඩ්-19සමඟ පොරබදමින් සිටින අතර අසාදිත සංඛ්‍යා කලාපීය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක තබා ගෙන තිබේ. 

කෙසේ වෙතත්, මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළ පරිදි, වසංගතය මැඩපැවැත්වීම සඳහා ගැනෙන අතිවිශේෂ ක්‍රියාමාර්ග මානව හිමිකම් ආපසු හැරවීමට යොදා නොගත යුතුය.

සුළුතර කණ්ඩායම් ඉලක්ක කිරීම හා කොන් කිරීම, සාජන් සුනිල් රත්නායකට සමාව දීම සහ ගැටුමේදී බරපතල උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අනෙක් අයට උසස්වීම් දීම සහ පුළුල් පරාසයක සිවිල් සහ ආන්ඩුවේ ක්‍රියාකාරකම් මිලිටරිකරණය කිරීම සහ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානවල උත්සුකයන්ට අපද එකඟ වෙමු.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවෘතව හා වගකීමෙන් යුතුව පවත්වාගෙන යාම සහතික කරන ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු. 

රඳවා තබා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම් සඳහා, නිදසුනක් වශයෙන්, අධිකරණය හමුවේ කිසිදු චෝදනාවක් හෝ ඉදිරිපත් කිරීමකින් තොරව මාස තුනකට ආසන්න කාලයක් රඳවා සිටින නීතිඥ හෙජාස් හිස්බුල්ලාගේ නඩුව, නිසි ක්‍රියාදාමය අනුගමනය කරන ලෙසත්, ජාත්‍යන්තර සම්මතයන්ට හා විශ්වීය අයිතිවාසිකම්වලට අනුකූල වන ලෙසත් අපි ඉල්ලා සිටිමු. 

අතීතයේ සිදු වූ උල්ලංඝනයන් සහ අපයෝජනයන් සඳහා ද දණ්ඩ මුක්තිය අවසන් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.''

ස්තූතියි සභාපතිතුමියනි.

2020 ජුනි 30 දින ප්‍රකාශයට පත් කරන ලදි.

(එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපති රීටා ප්‍රෙන්ච් විසින් ප්‍රංශ කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය වෙනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම වෙනුවෙන් මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.)


(උපුටා ගැනීම - srilankabrief.org

UN Human Rights Council 44: statement on behalf of the Core Group on Sri Lanka.