Language Switcher

V2025

ක්ලෝසස් සමාගමට තඹ දෙන්න ලියුම් දුන්න අය හෙළිවෙයි : ඒත් රියාජ් ඇතුලේ !

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ්  නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කළ බව නීතිපතිවරයා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තමන් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

නීතිපතිවරයාගේ විරෝධතා සඳහා ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ  අධිකරණයෙන් ඉල්ලු බව වාර්තා වෙයි.

අප්‍රේල් 14 සිට  රියාජ් අත්අඩංගුවේ !

තම සේවාදායකයා ඉකුත් අප්‍රේල් මස 14 වනදා සිට අත්අඩංගුවේ පසුවන බවත් එබැවින් මෙම නඩු කටයුත්ත හදිසි නඩු කටයුත්තක් සේ සලකා එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ මැද්දේගොඩ  වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ජුලි මස 31 වනදා කැඳවීමට නියම කර ඇත.

අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඩ් රියාජ්  වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහිදී පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.

අත්අඩංගුවට ගත්තේ කිසිම හේතුවක් නොදක්වා !

තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලිසිය මගින් කිසිඳු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා ඇත.

රිෂාඩ් ගේ දේශපාලන ප්‍රතිරූපයට හානි කිරීමේ තැතක් !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් සිදු කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇය ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන සිය සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ක්ලෝසස් සමාගමට තඹ දෙන්න කිව්වේ කවුද ? : හිටපු අමාත්‍යාංශ ලේකම් හෙළිකරයි !

මේ අතර මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ 'කොලෝසස් පුද්ගලික සමාගම' සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඊට  ලබාදෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ දේවිකා ලියනගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත දැනුම් දී තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක පැවසීය.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක මේ බව සඳහන් කර  සිටියේ, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය ජූලි 03 වනදා  සාක්ෂි ලබාදෙමින් ය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී එදින රැස්විය.

ලිඛිත සාක්ෂි මෙන්න !

'කොලෝසස් පුද්ගලික සමාගම' පාස්කු ඉරුදින 'සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්   එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් එකකි.

''කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත 'කොලෝසස්' පෞද්ගලික සමාගමට අනෙකුත් ගැණුම්කරුවන්ට වඩා වැඩි තඹ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර ගේ අත්සන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ ගේ අත්සන සහිත ලිපි දෙකක් මගින් එම දැනුම් දීම කර තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක කොමිසම හමුවේ සාක්කි දෙමින් සදහන් කළේය.

ඊට අදාළ ලිපි පහත දැක්වෙයි.
 
News image 2020.07.05

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර 2018 ජුලි 6 වැනිදා එම ලිපිය එවා තිබු බවද, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ  2018 පෙබරවාරි 5 දින අදාළ ලිපිය එවා තිබු බව ද  කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක පැවසීය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් තඹ ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි 4 1/2ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ මිට ඉහත දී අනාවරණය වුණි. 


මේ අතර පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර් රවින්ද්‍ර විමලසිරි පසුගිය දා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ, මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතෙකු වන, සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා "කොලෝසස් (Colossus)" නම් ආයතනය හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.