ජන්දය ඉලක්ක කර රතන හිමි : ගිනිකෙළි අරඹයි !

ජන්දය ඉලක්ක කර රතන හිමි :  ගිනිකෙළි අරඹයි !
මහ  මැතිවරණය ඉලක්ක කර දැඩි ජාතිවාදී තත්ත්වයක් ඇතිකර එය දේශපාලන වාසියක් කරගැනීමේ උත්සාහයක් අතුරලියේ රතන හිමි ප්‍රමුඛ අපේ ජනබල පක්ෂය දියත්කර ඇත.
 
ඊට අදාළව දිවයින පුවත්පත නිකුත්කළ පුවතක සඳහන් වන්නේ මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව අපේ ජනබල පක්‍ෂයේ සභාපති අතුරලියේ රතන හිමියෝ කියා සිටි බවය.
 
එම  පුවතෙහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.
 
'සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව සහ රජය මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එම භාණ්ඩ වර්ජනය කිරීම සඳහා සමස්ත රට පෙළගස්වන බවත් උන්වහන්සේ කීහ.
 මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොබෝ දිනකින් සංඝ සම්මේලනයක් කැඳවනු ලබන බවද උන්වහන්සේ කීහ.

පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ බැංකුවක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප‍්‍රතිචාර ඉතා කනගාටුදායක බවත් ඔවුන් එසේ හැසිරෙන්නේ නම් ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීම සමාජයේ වගකීමක් බවත් රතන හිමියෝ සඳහන් කළහ.

මෙම සියලූ ප‍්‍රශ්න සඳහා වගකිව යුත්තේ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව බවත් ඔවුන් ගොඩනඟාගෙන තිබෙන අන්තවාදී ඒකාධිකාරය වහා බිඳ දැමීම අනාගත සුබසිද්ධියක් වනු ඇති බවත් උන්වහන්සේ කීහ.

තමන්වහන්සේ අවිහිංසාවාදී අවිය ඔසවන්න පෙර ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ වගකීමක් බව අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ."

 අතුරලියේ රතන හිමි මෙසේ පවසා සිටියත් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව මේ කරුණු සාවද්‍ය බව දැක්වෙන නිවේදනයක් නිකුත්කර ඇත.

ඊට අනූව සම්පත් බැංකුවේ ගිණුම් ඉවත් කරගන්නා ලෙස මුස්ලිම් ජාතිකයන්ට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසා නැත.

 අතුරලියේ රතන හිමියන් විසින් ජන හමුවක දී සිදු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

 සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.

මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.

මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්‍රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න