රුසියානු ලේඛක බියන්කි විතාලි වැලෙන්ටිනෝවිච් රචිත, ජනප්‍රිය රුසියානු චිත්‍ර ශිල්පීනී ඕල්ගා සූරිනා ගේ මනරම් ළමා සිතුවම්වලින් හැඩ වුණ ''සීන්කාගේ කැලැන්ඩරය'' නමැති ළමා කතාව Swan Books ආයතනයේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.
රුසියානු චිත්‍ර ශිල්පීනී ඕල්ගා සූරිනා (වම) රුසියානු ලේඛක බියන්කි විතාලි වැලෙන්ටිනෝවිච් (දකුණ)
මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ඍජුව ම රුසියානු භාෂාවෙන් සිංහල භාෂාවට කෘති කිහිපයක් ම පරිවර්තනය කර ඇති දක්ෂ පරිවර්තකයකු වන ජානක දුනුසිංහ ය.
කෘතියේ පරිවර්තක ජානක දුනුසිංහ
මතු පළ වන්නේ ඒ සම්බන්ධයෙන් පරිවර්තක ජානක දුනුසිංහ තැබූ කෙටි සටහනකි.
බියන්කි විතාලි වැලෙන්ටිනෝවිච් නම් වූ අසහාය රුසියානු ලේඛකයාගේ, අතිශය ජනප්‍රිය ළමා කතාවක් වන සීන්කාගේ කැලැන්ඩරය (Синичкин календарь) ළමා පොත සිංහල පරිවර්තනයක් ලෙස අපේ දරුවන් අතට පත් කරන්නට හැකිවීම මා ලද වාසනාවක් සේ සලකමි.
මේ තරම් ලස්සනට මේ පොත එළි දක්වන්න උපරීමයෙන් කැප වුණ Swan Books ආයතනයට, මෙහි පරිවර්තනය අයිතිය හා මුද්‍රණ අයිතිය අපට ලබා දුන් ජනප්‍රිය රුසියානු චිත්‍ර ශිල්පීනී ඕල්ගා සූරිනාට (Ольга Цурина), "Rech publication" (Издательство "Речь") ආයතනයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.
"එකෝමත් එක දවසක මහ රෑ, ගෙදරක ජනේලය උඩ තිබුණු ගේකුරුළු කුඩුවක නිදාගෙන හිටපු සීන්කා, මහා ඝෝෂාවක් ඇහිලා නින්දෙන් ඇහැරුණා. සීන්කා කියන්නේ පුංචි පොල්කිච්චියක්. එයා ජනේලෙන් එබිලා බලනකොට ගේ ඇතුළේ පාට පාටින් දිලිසෙන ලස්සන නත්තල් ගහක් තිබුණා. පුංචි ළමයි නත්තල් ගහ වටේ සන්තෝසෙන් උඩ පැන පැන නටනවා. පහුවදා උදේ වයසක ගේ කුරුල්ලෙක් අලුත් අවුරුද්ද ගැන, අවුරුද්දේ මාස දොළහා ගැන එයාට කියලා දුන්නා..."
කුරුල්ලන්ගේ සහ කැලයේ අනිත් පදිංචිකාරයින්ගේ හැසිරීම්, විස්තර ඇසුරින් අවුරුද්දේ හැම මාසයක් ගැනම පුංචි ළමයින්ට කියා දෙන, විතාලි බියන්කි ගේ මේ ලස්සන ළමා කතාව පටන් ගන්නේ අන්න ඒ විදිහටයි.

අවුරුද්දේ ගතවන හැම මාසයකදී ම සීන්කා අලුත් ම දෙයක් දකිනවා. එයාට මේ හැම දෙයක් ගැනම තියෙන්නේ ලොකූ කුතුහලයක්.
ජනවාරි මාසේ ඇඟ හිරිවැටෙන සීතලට ගැහි ගැහී, සීන්කා කෑම හොයන්න යනවා. වසන්ත කාලේ පායපු මුල්ම ඉර අව්ව දැකලා සතුටු වෙනවා, උණුසුම් පළාත්වල ශිත කාලය ගත කරලා ආපහු ආපු කුරුල්ලන්ගේ සින්දු අහගෙන ඉන්නවා. ගිම්හානේ දී කැළේ සත්තු පැටව් ඇතිකරන හැටි බලා ගෙන ඉන්නවා. සරත් කාලය පටන් අරන් රන්වන් පාටට කොළ හැලෙනවා දකිනවා, කැළේ සත්තු ශීත කාලයට ලක ලැහැස්තිවෙන හැටි බලන් ඉන්නවා."

මෙන්න මේ දේවල් ගැනයි සීන්කාගේ කැලැන්ඩරෙන් අපි කතාබහ කරන්නේ.
මෙම කෘතිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටි අංක K 03, 04 කවිවර ප්‍රකාශන වෙතින් ලබාගත හැකි ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
