Language Switcher

V2025

දැරියන් බඳවා ගන්නට ගොස් ප්‍රශ්න හදාගත් ප්‍රින්සිපල් තාම වැඩ!

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලබන ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකාවක්  ඉහල පෙලේ කොළඹ කාන්තා විදුහලකට සිසුවියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා වන ඉල්ලීම තවමත් ඉටුවී නැත.
 
ළමුන් ඇතුලත් කරගැනීමේදී ව්‍යාජ සහතික අනුමත කිරීම සහ වැරදි ලකුණු ලබාදීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන විශාකා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව එම චෝදනා පත්‍රය ඉදිරිපත් වන කොමිසමම  කර ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් නිරීක්ෂණ ඉල්ලා සිටීම බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් පවසයි.
 
රාජ්‍ය සේවා කොමිසම මගින් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති කොළඹ විශාකා විදුහලේ විදුහල්පතිනිය වන සඳමාලි අවිරුප්පල  2021 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කරන අතර, ඇය එම  විදුහලේ විදුහල්පති තනතුරෙන් තාවකාලිකව ඉවත් කර අදාළ විනය පරීක්ෂණය සිදුකරන ලෙස ලංකා ගුරු සංගමය ජුනි 23  ලිපියක් මගින් රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුනි.
 
එම ලිපියට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ජුලි 07 දිනැති ලිපියක පිටපතක්  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම් විසින් තම සංගමයටත් යොමු කර ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
  
"එම ලිපියට අනුව විදුහල්පතිවරයෙකුට එරෙහිව ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවතී නම් තවදුරටත් ඉදිරි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සභාපතිත්වය දැරීම කළ යුතු ද නැද්ද යන කොන්දේසිය සම්පාදනය කළ යුතු බවත්, යම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක සභාපති ඉවත් කර වෙනත් අයෙකු ලවා සම්මුඛ පරීක්ෂණ කිරීම ප‍්‍රයෝගික ද යන්නත් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ නිර්දේශ ඉල්ලා ඇත."
 
අපක්ෂපාතී පරීක්ෂණයක් !
 
ඒ අනුව අදාළ නිර්දේශ කඩිනමින් ලබා දී විශාකා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධ පරීක්ෂණය අපක්ෂපාතීව සිදු කිරීමට අව්‍යශ්‍ය පරිසරය සකසන ලෙස  අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලංකා ගුරු සංගමය  ලිඛිතව ඉල්ලා ඇති බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසයි.
 
 ජුලි 9 බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක් මගින්  ලංකා ගුරු සංගමය විසින් පෙන්වා දී ඇත්තේ   ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී  ඒ ගැන පරීක්ෂණයක් සිදුවන අවස්ථාවක අදාළ විදුහල්පති එම පාසලේ රැඳී සිටීම ආචාරධාර්මිකව මෙන්ම නීතියට අනුව ද වැරදි සහගත බවයි.
 
 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට ඉහත දී මෙවැනි චෝදනා එල්ල වූ විදුහල්පතිවරු පාසල්වලින් ඉවත් කර පරීක්ෂණ සිදු කළ බවට අවශ්‍ය තරම් නිදර්ශන ද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව පවතින බව ගුරු සංගම් නායකයා  සදහන් කරයි.
 
 එම තත්වය තුළ නීතිය සැමට සාධාරණව ඉටුවන ලෙස විශාකා විදුහලේ විදුහල්පතිනිය තාවකලිකව එම පාසලෙන් ඉවත් කර ඇය සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය ස්වාධීනව සිදු කළ යුතු බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත්  අවධාරණය කර තිබේ.
 
 විදුහල්පතිනි ට එරෙහි චෝදනා !
 
 2019 වසරේ පාසලට ළමුන් ඇතුළත් කිරිමේදී ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්ගේ ගණය යටතේ හා සහෝදර පදනම යටතේ, කාර්ය මණ්ඩල වලට අයත් තැනැත්තන්ගේ ළමුන්ගේ ගණය යටතේ පදිංචිය තහවුරු කිරීමේ ව්‍යාජ ලිපි ලේඛන ලබා ගැනීම මෙන්ම අධ්‍යාපන ලේකම්ගේ අංක 24/2018 චක‍්‍රලේඛයට පටහැනිව ලකුණු ලබාදීම ඇතුළු චෝදනා ගණනාවක් කොළඹ විශාකා විදුහලේ විදුහල්පතිනියට එරෙහි චෝදනා පත‍්‍රයේ අන්තර්ගත බව  ලංකා ගුරු සංගමය පසුගිය මාසයේදී නිවේදනය කර තිබුනි.
 
චෝදනා පත‍්‍රයේ 15 වන චෝදනාව වන්නේ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමෙන් ශ්‍රී  ලංකා ප‍්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ජේදයේ පළමු වන උපලේඛනයේ 10 වන වගන්තියට ගැනෙන වරදක් සිදු කිරීම බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින්  යුතුව පසුගිය ජුනි මාසයේදී නිකුත් කරන ලද නිවේදනයක  සදහන්ව තිබේ.