පාසල් පද්ධතිය අනතුරේ - ගුරු සංගමය

පාසල් පද්ධතිය අනතුරේ - ගුරු සංගමය

අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග කි‍්‍රයාත්මක නොකිරීමෙන් පාසල් පද්ධතිය අනතුරට ලක්ව ඇති බව ලංකා ගුරු සංයමය චෝදනා කරයි.

 ලංකා ගුරු සංයමය මේ චෝදනාව එල්ලකර සිටින්නේ නිවේදනයක් නිකුත්කරමින් වන අතර එම නිවේදනය පහත දැක්වෙයි.

රාජාංගනය යාය 1 විදුහලේ දරුවෙකු මේ වන විට කෝවිඞ් 19 අසාධිත බවට තහවුරු වී ඇති අතර, එම පාසලේ ළමුන් 70 ක් පමණ නිරෝධායනයට යොමු කොට ඇත. එසේම ගාල්ල, ගෝනාපීනුවල සාරාලංකාර විදුහලේ ගුරුවරියක් ඇතුළු දරුවන් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත. මේ තත්වයට හේතුවූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කෝවිඞ් 19 අසාධිතයන් වාර්තාවීමත් එහි සේවය කළ අය දිවයින පුරා විවිධ ප‍්‍රදේශවල පිහිටි තම නිවෙස් වෙත පැමිණ තිබීමත්ය.

කෝවිඞ් 19 වසංගත තත්වය  පාලනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුව අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝග වූයේ දෙවන අදියරේදී 5, 11, 13 ශ්‍රේණි පමණක් ආරම්භ කළ යුතු බවත්, පාසල් තුළ අනවශ්‍ය ඒකරාශීවීම් වැලැක්වීම සඳහා ඉගැන්වීමට නියමිත කාලච්ජේදයට පැය බාගයකට පෙර ගුරුවරු පැමිණීමත්, අදාළ කටයුතු අවසන් වූ පසු පිටව යාමත්, පාසලේ පැමිණීමේ ලේඛනය වෙනුවට වෙනත් ලේඛනයක් භාවිතා කිරීමත් ඇතුළු නියෝග ගණනාවකි. මෙම නියෝග නොතකා හැර සමහර පළාත්, කලාප අධ්‍යාපන බලධාරීන් මෙන්ම විදුහල්පතිවරු ද අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙන් උද්ගත වී ඇති තත්වය තුළ සමස්ත පාසල් පද්ධතිය අනතුරුදායක තත්වයකට පත්ව ඇත.

කෝවිඞ් 19 ආසාධිත දරුවා වාර්තා වූ රාජාංගනය යාය 01 විදුහලේ විදුහල්පතිවරයා අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව එම පාසලේ සියලූම ශ්‍රේණිවල දරුවන් පාසලට කැඳවා තිබූ අතර, අවශ්‍ය ගුරුවරු පමණක් කැඳවීමට නියෝග කර තිබියදී ගෝනාපීනුවල සාරාලංකාර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු අනවශ්‍ය ලෙස පාසලට කැඳවා තිබුණි. මේ නිසා එම පාසල්වල දරුවන් සහ ගුරුවරු බරපතල අනාරක්ෂිත තත්වයකට පත්කර ඇත. මේ ආකාරයටම ගම්පහ කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක විසින් අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග පසෙක දමා ගම්පහ කලාපයේ පාසල්වල සියලූම ගුරුවරු පාසල්වලට කැඳවීමට නියෝග කර තිබුණි.  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය අනුව පාසල් නොපැමිණි ගුරුවරියකට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සේවය අතහැර යාමේ නියෝගයක් ද නිකුත් කර සෙසු ගුරුවරු බියගැන්වීමට කටයුතු කර තිබුණි. වැලිමඩ, හම්බන්තොට, හෝමාගම, ජයවර්ධනපුර, පිළියන්දල, මාතලේ, වත්තේගම, දෙනුවර, මහියංගනය, මහනුවර ඇතුළු අධ්‍යාපන කලාප ගණනාවකට අයත් පාසල්වල සියලූම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට කලාප අධ්‍යාපන බලධාරීන්, කොට්ඨාස අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු කටයුතු කර තිබුණේ රෝග ව්‍යාප්තිය  පාලනය වෙනුවෙන් අධ්‍යාපන ලේකම්වරයා ලබාදී තිබූ ඉහත නියෝග තුට්ටුවකට මායිම් නොකරමිනි. මෙයින් පැහැදිලි වන්නේ පාසල් පද්ධතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනයෙන් ගිලිහී ඇති බවද ? මේ දිනවල මනාප පොරයේ යෙදෙන අමාත්‍ය මණ්ඩලයෙන් අප ඉල්ලා සිටින්නේ මෙම තත්වය පිළිබඳව ක්ෂණික අවධානය යොමු කරන ලෙසයි.

කෝවිඞ් 19 වසංගත තත්වය යළි පැතිරීමේ තත්වය තුළ පාසල් පද්ධතිය දැඩි අවධානමකට ලක්ව ඇත්තේ ඉහත ආකාරයට විදුහල්පතිවරු සහ නිලධාරීන් කටයුතු කිරීම නිසාය.  අධ්‍යාපන ලේකම්වරයාගේ සහ අමාත්‍යාංශයේ වගකීමක් විය යුත්තේ අදාළ නියෝග වහා කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමයි.

මෙයට,
 
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න