Language Switcher

V2025

බලහත්කාරී වැටුප් කප්පාදුවට එරෙහිව විරෝධයක් !

"කොරෝනා පිට දාලා මේ වනවිට පෞද්ගලික අංශයේ සේවකයින් විශාල පිරිසකගේ රැකියා අහිමි කරලා. තවත් පැත්තකින් ඔවුන්ගේ වැටුප් කපලා. මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් මිලියන 08ක් පමණ ඉන්නවා. කඩ සාප්පු, කාර්යාල, හෝටල්, ඇඟළුම් කම්හල් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයින් ලක්‍ෂ 45ක් පමණ සේවය කරනවා. මේ වනකොට ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණදී සිටිනවා. කොරෝනා වෛරසය මැද්දේ ආර්ථික වෛරසයත් ඔවුන්ට වැළඳිලා. වෙළඳ කලාපවල සමහර ආයතනවල සේවකයින්ව තවමත් රැකියාවට කැඳවලා නැහැ. එක පැත්තකින් සංචාරක ව්‍යපාපාරය බිඳ වැටිලා. මේ වනවිට 380,000ක් පමණ වූ ඇඟළුම් කම්හල් සේවකයින්ගෙන් 80,000කට අධික පිරිසකට රැකියා අහිමි කරලා. මේ ආණ්ඩුව මේවා ගැන කිසිදු අවධානයක් යොමුකර නැහැ. කම්හල් හිමියන්ට අවශ්‍ය විදිහට සේවකයන් දොට්ට දාන්න ඉඩ දීලා බලං ඉන්නවා." යනුවෙන් ජාතික ජනබලවේගය අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක සහ කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ චෝදනා කරයි.
ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

අනෙක් අතට විශාල පරිමාණ කර්මාන්ත ශාලාවල වෘත්තීය සමිති නායකයින් හා ක්‍රියාකාරිකයින් මර්දනය කිරීමට පටන් අරන්. කොරෝනා මැද්දේ මේ ආණ්ඩුව හාම්පුතුන්ට ඒ සඳහා පරිසරය සකස් කරලා දීලා. ඒ වගේම ලාභ ලබන කොම්පැනිවල පවා සේවකයින් දොට්ට දාලා. පුත්තලම සිමෙන්ති කම්හලේ සේවකයින් විශාල පිරිසක් දොට්ට දැමීම සඳහා දැන් කටයුතු කරගෙන යනවා. 

අපි ආණ්ඩුවට යෝජනා කළා, අන්තර් සමාගම් සේවක සංගමය හැටියට කොරෝනා වෛරසය නිසා අසීරුවට පත් කර්මාන්ත ශාලා සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා සහන ලබා දෙන්න කියලා. මේ ආණ්ඩුවට කොරෝනා වසංගතය මැඩලීමට සහ ජනතාවට සහන දීම සඳහා කෝටි 20,000ක පමණ මුදලක් විදෙස්වලින් ලැබුණා. ඒවාට මොකද වුණේ? දැනට පෞද්ගලික සමීක්‍ෂණ ආයතනයක් කළ සමීක්‍ෂණයකින් ලංකාවේ සේවකයින් ලක්‍ෂ 12කට පමණ රැකියා අහිමි වන බව හෙළිදරව් කර තිබෙනවා. 

සේවකයින්ට සහන දෙනවා වෙනුවට ඔවුන්ගේ පඩිපත කපා දැමීම සඳහා මේ ආණ්ඩුව නීති ගේන්න පටන් අරන්. දැන් බොහෝ ආයතනවල වැඩ පටන් අරන්. එහෙම තිබෙද්දීත් සේවක වැටුප් කපන්නේ මොන නීතියක් අනුවද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටිනවා. මේ ගොල්ලො හදන්නේ සේවකයින්ගේ පඩිය උදුරාගෙන හාම්පුතුන්ගේ සාක්කු පුරවන්නයි. දැන් ආණ්ඩුව කියනවා, මේ පඩි කැපිල්ලට වෘත්තීය සමිති එකඟ වුණා කියලා. මේක පට්ටපල් බොරුවක්. අන්තර් සමාගම් සේවක සංගමය හැටියට අපි ඊට දැඩි ලෙස විරුද්ධ වුණා. අද කම්කරු ඇමති දිනේෂුත් හැම එකටම හොට දාන බන්දුල ඇමතිත් හිටගෙන බොරු කියන්න පටන් අරන්. 

බලහත්කාරයෙන් සේවකයින්ගේ වැටුප් කපන එකට ජාතික ජන බලවේගය හැටියට හාම්පුතුන්ටත් ආණ්ඩුවටත් අපි තදබල ලෙස විරෝධය පළ කරනවා. අපි මේ රටේ කම්කරු ජනතාවට කියනවා මේ තත්වයට එරෙහිව ඉදිරියට එන්න කියලා. ඔබට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න. අන්තර් සමාගම් සේවක සංගමයේ අපි නිරන්තරයෙන්ම ඔබත් වෙනුවෙන් පෙනී සිටිනවා. 
ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආහාර දීමනාවත් කපලා !

මේ ආණ්ඩුව දැන් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ ආහාර දීමනාවත් කපා දාලා. ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට දුන්නේ නැහැ. ඒ වාසිය දුන්නේ ඉන්දියානු ඔයිල් සමාගමට. අල, ළුෑණු, මිරිස්, සැමන් අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකකම අද මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. මේ හැම භාණ්ඩයකටම අධික ලෙස බදු ගහලා. ආණ්ඩුව මහ ජනයාගේ රීරි මාංශ උරා බොනවා. මේ අධික ජීවන බරට එරෙහිව අපි දිස්ත්‍රික්ක පුරා උද්ඝෝෂණ මාලාවක් පටන් අරගෙන තියෙනවා. මේ අසාධාරණ බදුවලට එරෙහිව පාරට බහින්න කියලා ජාතික ජන බලවේගය හැටියට අපි ජනතාවගෙන් ඉල්ලනවා. 
ඉතිහාසය හෑල්ලු කර : පුරාවස්තු වැනසීම ! 

ආණ්ඩුව දැන් පුරා වස්තු විනාශයත් පටන් අරන්. කුරුණෑගල රාජසභා මණ්ඩපයට බුවනෙකබාහු රජතුමා දවසකට දෙකකට වඩා ඇවිල්ලා නැහැලු. රජ්ජුරුවෝ මුස්ලිම් කාන්තාවකුත් තියාගෙන හිටියලු. එහෙම කියලා ඉතිහාසයත් හෑල්ලු කරලා අමූලික බොරුවලින් තම හෙංචයියා කරපු වරද වහන්න හදනවා. අනෙක් පැත්තෙන් ජොන්ස්ටන් ඇමතිවරයා කියනවා, කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා. ඔන්න අද පාලකයෝ විනාශකාරී වැඩ කරන තම හෙංචයියෝ ආරක්‍ෂා කරන හැටි. පුරාවිද්‍යා පනත අනුව මෙවැනි හානිවලට ඇප දෙන්නත් බැහැ. මේ ගොල්ලෝ එක නීතියක්, එක රටක් කියලා ජනාධිපතිවරණයට ඇවිල්ලා අද අමු අමුවේ නීති උල්ලංඝනය කරනවා. මේ යන ගමන දිහා බැලුවම මේ ගොල්ලො 2/3 බලයක් ලබා ගත්තොත් මේ රටේ ජනතාවට අත්වන ඉරණම ගැන දැන්මම හිතා ගන්න පුළුවන්. මේ රටේ නීතිය කියන්නේ ආණ්ඩුවේ බලධාරීන්ගේ කැමැත්ත බවට පත්වෙලා. තමන් සහ තමන්ගේ හෙංචයියෝ කරන විනාශකාරී වැඩ කටයුතු සාධාරණීකරණය කරන්න අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ලොක්කොම එක එක රස කතා කියනවා. මේ ගොඩනැගෙමින් තිබෙන්නේ ඒකාධිපතිත්වයක මාවතයි. ඊට එරෙහි වීමට නම් කළ යුත්තේ මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා මාලිමාව ජයග්‍රහණය කරවීම බව අපි මේ රටේ ජනතාවට සෘජුවම ප්‍රකාශ කර සිටිනවා.
ග්රූප් ඉමේජ් එක දාන්න 

ආණ්ඩුවේ ප්‍රජාන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න - ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

එක නීතියක් කියාගෙන බලයට ආපු ගෝඨාභය දැන් රටේ අවනීතිය රජ වෙන්න ඉඩ ඇරලා. ඒකට උදාහරණ මේ ටික කාලය තුළ අපි හොඳින්ම දැක්කා. යම් සිදුවීමක් වූ ගමන් බොරු කමිටු අටවලා, බොරු පොරොන්දු දීලා ඇඟ බේරගන්න මේ ආණ්ඩුවේ උදවිය ඉතා දක්‍ෂයි.
2/3 බලයක් ඕනෑ කරලා තියෙන්නේ විශේෂයෙන් රාජපක්‍ෂවරු තුන් දෙනෙකුට. ගෝඨාභය රාජපක්‍ෂට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පූර්ණ විධායක බලයක් නැහැ. ඔහුට දැන් ඕනැ කරලා තියෙනවා, එහෙම බලයක් තමන්ගේ අතට ගන්න. දැනට ඔහුට ඇමතිධුරයක්වත් දරන්න බැහැ. බලය තිබෙන්නේ අගමැතිටත්, කැබිනට් මණ්ඩලයටත්.
නීතිය ගැන දැනුමක් මේ ජනාධිපතිට නැහැ. වැලි පර්මිටි ඉවත් කරපු සිද්ධියෙන්ම ඒක රටට ඔප්පු වුණා. ඒ වගේම ඔහු ලබාදෙන පොරොන්දුවලිනුත් ඒක පෙනෙනවා. 

මහින්දට 2/3ක් ඕනෑ කරල තියෙන්නේ ඔහුගේ බලතල තව තවත් වැඩිකරගන්නයි. ඒකට ගෝඨාභය කැමැත්ත දෙයිද කියන එක අපිට ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බැසිල්ට 2/3 වුවමනා එය පාවිච්චි කරලා තම ද්විත්ව පුරවැසිභාවය රැකෙන නීති සම්මත කර ගන්නයි. අද නීති කඩන අය ඉන්නේ මේ ආණ්ඩුව සමගයි. මේ අයගේ උද්දච්ඡකම ගැන ජනතාව අද ඉන්නේ කලකිරීමෙන් හා පිළිකුළෙන්. ආණ්ඩුවේ සමහර ඇමතිවරු කියනවා, පොදුජන පෙරමුණෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා. මේ අපහාස කරන්නෙ මේ රටේ ඡන්දදායකයින් වන ඔබටයි. 

අනෙක් පැත්තෙන් එජාපය හෝ සමගි ජන බලවේගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔවුන් නීතිය කඩපු හැටිත් දැන් ඔවුන්ගේ භාවිතයත් මුළු රටටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. ඔය කණ්ඩායම් දෙක අනිවාර්යයෙන්ම මේ ඡන්දයෙන් පස්සේ රාජපක්‍ෂවරුන් සමග එකතු වෙනවා නිසැකයි. මේ ගොල්ලෝ 2/3 බලයක් ඉල්ලන්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යන්නයි. ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සටන් කිරීමට නම් ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් ඊට යැවිය යුතුයි. උදාවෙන මර්දනකාරී පාලනයට එරෙහිව සටන් වැදිය හැකි ඒ සඳහා ශක්තිය තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගයයි. 

ජාතික ජන බලවේගය ගොඩනැගී ඇත්තේ මර්දනයට එරෙහි පුළුල් ජනතා ව්‍යාපාරයක් ලෙසයි - ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත දිසානායක !

බඩුමිල ඉහළ යන්නේත් සේවකයින්ගේ රැකියා අහිමි වන්නේත් කොරා්නාම නිසාද? ඒක කොරෝනාවලට පමණක් ලඝු කරන්න බැහැ. වසර 72ක වැරදි සමාජ, ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඊට හේතුවයි. දැන් නැවතත් මේ ගොල්ලො බලය ඉල්ලන්නේ ඒ ගමන තවදුරටත් යන්නයි. මේ තියෙන්නේ පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. සිස්ටම් එකේ වරද. මේ රටේ ප්‍රශ්න විසඳීමට නම් ඊට යෝග්‍ය වූ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියකට යා යුතුයි. නමුත් මේ පාලකයෝ කරන්නේ මෙතෙක් ගෙනා ප්‍රතිපත්තිය දිගටම කරගසාගෙන යාමයි. මෙහෙම ගියොත් රටේ හැම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටෙනවා නියතයි. 

දැන් 2/3 බලයක් ඉල්ලනවා. මේ ඉල්ලන බලයේ ඇත්ත කතන්දරය නම් මේ පාලකයින් වටා සිටින ජාවාරම්කාර කල්ලියේ ආරක්‍ෂාවයි. ධනවාදයේ මේ අර්බුදය ලෝකය පුරාම උග්‍ර වෙමින් යන එකක්. දැනටමත් විශාල පිරිසක් දවසකට බඩගින්නේ මිය යනවා. අපේ රටටත් ඒ තත්වය උදාවිය හැකියි. රටේ ප්‍රශ්නවලට පාලකයන් විසඳුම් නොදෙනකොට ජනතාව නැගිටිනවා. දැනටමත් තැන් තැන්වල එවැනි සටන් මතුවෙමින් තිබෙනවා. ඉදිරියේදී මේවා පුළුල්වනු නියතයි. එතැනදී මේ පාලකයන්ට කිරීමට සිදුවන එකම දේ තමයි මර්දනය.

පසුගිය ජූලි දෙවැනිදා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කළා. සුරක්‍ෂිත විනයගරුක, නීතිගරුක රටක් හදන්න කියලා. මේකේ ප්‍රධාන නිලතලවල ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානීන්. මේකේ එක යටි අරමුණක් තමයි රටේ සේවක වැඩවර්ජන වැනි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග උත්සන්න වන විට ඒවා මර්දනය කිරීම සඳහා පාර කපා ගන්න එක. මේක භයානක දෙයක්. මිලිටරි ආඥාදායකත්වයකට පාර කපාගෙන යන ගමනක් තමයි මේ ආණ්ඩුව යන්නේ. මේක තමයි රටේ ජනයාට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රබලම අභියෝගය වන්නේ. මේකට මුහුණ දෙන්න නම් ප්‍රබල ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ වගේම ජනතාව ඒ ව්‍යාපාරය වටා ඒකරාශී විය යුතුයි. අපි දැන් ජාතික ජන බලවේගය නමින් ගොඩනගා තිබෙන්නේ එම ව්‍යාපාරයයි. මර්දනයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සටන් වැදීමට නම් ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. එජාපයට හෝ සමගි ජන බලවේගයට මීට මුහුණ දෙන්න වුවමනාවක් හො ශක්තියක් නැහැ. ඒ වගේම ඔවුනුන් මේ මර්දනයේම කොටස්කරුවෝ පමණයි. 

අද රටේ වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සියලු සංවිධාන සහ පිරිස් ජාතික ජන බලවේගය වටා පෙළ ගැසී සිටිනවා.
7B0A1207