Language Switcher

V2025

සොරගුනේ වැලි ජාවාරම පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙක් !

සොරගුනේ වේලිඔය අමුණේ සිදුකරගෙන යන මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇති අතර ඒ පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය සමග ප්‍රදේශයේ  ගොවි ජනතාව පවසන ආකාරයට මෙම අනවසර මැණික් ගැරීම් හා වැලි ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීමෙනි. එම හේතුව නිසා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය මෙන්ම ප්‍රාදේශීය පරිපාලන නිලධාරින් මැලිවන බවක් දක්නට ඇත.

මෙම ක්‍රියාදාමය තුළ වනාන්තර විනාශය මිනිස් ජිවිතවලටද බලපා ඇති අයුරු පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අනාවරණයකර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

“කොටවෙහෙර මංකඩ, කණ්ඩිපිටිය, අළුත් වැව, හම්බෙගමුව යන ග්රාමසේවා වසම්වල ගම්මාන 35 ක දහස් ගණනක් ගොවින් කුඹුරු වැඩ කරන්නෙත්, ඔවුන් ගේ ගෙදර එදිනෙදා ජල අවශ්‍යතා  සපුරා ගන්නෙත් මේ වනාන්තරය තුළින් ගලා එන ජල උල්පත් තුළින් හා ඒ ජලයෙන් සෑදුනු වේළිඔය අමුණෙන්. මෙයට සමගාමීව වේළිඔය අමුණ පෝෂණය කරන තවත් ජල මාර්ග 4 ක් තිබෙනවා. එම ජල මාර්ග හතරත් ආරම්භ වන්නේ සොරගුනේ වනාන්තරයෙන්මයි. සිදුවෙමින් පවතින වනාන්තර විනාශය නිසා මේ සියළු ජල මාර්ග සිඳෙමින් පවතී.”
පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයයේ රවින්ද්‍ර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුනු පෙන්වා දෙයි.

යාන්ත්‍රික වැලි කැණිම් !soragune environmental crimes

සොරගුනේ වනාන්තරය විනාශයට ඇද දමමින් සිදු කැරෙන මැණික් හා වැලි ජාවාරමට අමතරව වේලිඔය අමුණ පතුළෙහි තිබෙන වැලි නිධිය ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ  පිහිටි පුද්ගලික සමාගමක්  සූත්‍ර  යොදා ගොඩ දමන්නේයැයි රවින්ද්‍ර  කාරියවසම් කියයි. මේ විනාශකාරී අනවසර වැලි ගොඩ දැමීමටද අවසරය හා බලය ලබා දී තිබෙන බවට චෝදනා ලබන්නේ උඩුගම්පල ප්‍රදේශයේ  පදිංචි ආණ්ඩුවේ බලවතෙකි.

සොරගුනේ වනාන්තරය පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ  හල්දුමුල්ල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේය. මෙම ප්‍රදේශයේ  ජල උල්පත් ආරක්ෂා කැරෙන එකම වනාන්තරය පමණක් නොව අරළු, බුළු, නෙල්ලි, ගම්මාන, කහට වැනි වටිනා ගහකොලද තිබේ.

එපමනක් නොව ඌව ප්රදේශයට පමණක් ආවේනික ඌව මැන්ඩොරා ශාක විශේෂයද දැකගත හැකියැයි පවසන කාරියවසම් ජෛව විවිධත්වයෙන් අනූන මෙම සොරගුණේ වනාන්තරය මැදින් උඩවලව බෝගහ පට්ටිය යා කැරෙන සාම්ප්රදායික අලිමංකඩද පිහිටා තිබීම විශේෂ කාරනාවක් ලෙස අවධාරණය කරයි.

කාමර 2000ක හෝටලයක් !

soragune environmental issue2009 වසරේදී සොරගුනේ වනාත්තරය තුළ කාමර 2000 කින් යුත් හෝටලයක්, ගොල්ෆ් පිට්ටනියක් පමණක් නොව කල්තොට දක්වා මහා මාර්ගයක් ඉදිකිරීමට එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස වත්මන් ජනාධිපති සහ ඔහුගේ මිතුරෙක් සැලසුම් කර තිබුනේ යැයි රවින්ද්‍ර කාරියවසම් අතීත සිදුවීමක් සිහිපත් කරයි. නමුත් නැගී ආ ජනතා විරෝධය හමුවේ සියළු සැලසුම් හකුළා ගෙන ඇත.

මෙවර මහ මැතිවරණයෙන් පසුව නැවත ඉහත කි සැලසුම් ක්රියාත්මක විය හැකියැයි සැක පලකරන පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ රවින්ද්‍ර කාරියවසම් සිය සැකය තහවුරු කිරීමට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ සොරගුනේ වනාන්තර විනාශය හා වේළිඔය විනාශය වළක්වන ලෙස පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයත්, වේළිඔය ව්යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයත් ජනාධිපතිවරයා දක්වා අදාළ සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි.

 ( පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය) 

soragune sand mining