වෛද්‍ය පාදෙනියගේ වැඩ තහනම් නොවන්නේ ඇයි ?

වෛද්‍ය පාදෙනියගේ වැඩ තහනම් නොවන්නේ ඇයි ?

රජයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක චමල් රාජපක්ෂගේ මැතිවරණ කටයුතුවලට පසුගිය සතියේ සහභාගි වූ බවට ප්‍රවෘත්ති වාර්තා පළ විය.  

රාජ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු වන පාදෙනියට ආයතන සංග්‍රහයේ “දේශපාලන අයිතිවාසිකම් බුක්ති විඳීම” යන XXXII වන පරිච්ඡේදයේ 1.1 යටතේ “රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධරයෙකු” ලෙස දේශපාලන අයිතිවාසිකම් හිමි නැත.

ඒ අනුව එහි 1.2 යටතේ සඳහන් වන්නේ “ජනාධිපති තේරීමක දී, පාර්ලිමේන්තු මැතිවරණයක දී, ජනමත විමසුමක දී, පළාත් සභා මැතිවරණයක දී හෝ පළාත් පාලන මැතිවරණයක දී ඡන්දය දීම හැර වෙන කිසිදු ආකාරයක දේශපාලන කටයුත්තක යෙදීම සහ විශේෂයෙන්ම පහත සඳහන් කවර ක්‍රියාවක් වුවද කිරීම දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙකුට තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහකිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදකි” යනුවෙනි.

රාජ්‍ය සේවාවේ එම සේවා කොන්දේසි නොතකා දේශපාලන කටයුතුවල නිරත වීම පිළිබඳව ඔහුගේ ආයතන ප්‍රධානියා විසින් ඔහුට එරෙහිව වහා විනය පියවර ගත යුතුව ඇත. එහෙත් එවැන්නක් නොවන්නේ සෞඛ්‍ය බලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ පොහොට්ටු පක්ෂයේ බලධාරීන්ට අවනත නිසා යැයි පැහැදිලිව නිගමනය කළ හැක්කකි.

මීට ඉහතින් පසුගිය ජනාධිපතිවරණයේදී වෛද්‍ය පාදෙනිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ දේශපාලන උත්සවයට සහභාගිවී තිබිණ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැමිණිලි කළ අතර, මැතිවරණ කොමිසම පසුගිය ඔක්තෝම්බර මාසයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ ගැන විමසීමක්ද කළේ ය. එයට සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ලැබූ පියවර හෝ මැතිවරණ කොමිසම අනතුරුව ගනු ලැබූ පියවර කුමක්දැයි නොදනිමි.

එහෙත් ඒ හැමෝම වෛද්‍ය පාදෙනියට රිසි සේ දේශපාලනය කිරීමට ඉඩදී ඇත. ඒ ගැන අනෙක් දේශපාලන පක්ෂද කිසිදු විරෝධයක් හා නීතිමය පියවර ගැනීමට බල කිරීමක් නොකිරීමත් වඳ පීදුනු මේ තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිසුන් නොමැති බවට තවත් සාක්ෂියකි.

 දේශපාලන විශ්ලේෂක

කුසල් පෙරේරා 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න