Language Switcher

V2025

පොහොට්ටුවේ ජවිපෙ විරෝධී කණා කරකැවීම

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් තුන්වැනි සිව්වැනි පෙළ දේශපාලන පක්ෂයකට අති විශාල ප්‍රයත්නයක් සහ වියදමක් දරමින් පහර දුන් ප්‍රධාන අවස්ථාවක් ලෙස 2020 මහ මැතිවරණය ඉතිහාසගත වනවා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට නොහොත් මාලිමාවට පහරදීම සඳහා මෙවර මහ මැතිවරණයේ නොකළ දෙයක් නැති තරම්ය. එසේ සිදුවූයේ ඇයි? මහ මැතිවරණයේදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත්වීමට තරම්වත් ඡන්ද පදනමක් නොමැති බව ඉතා පැහැදිලිව දන්නා දේශපාලන කණ්ඩායමකට එතරම් බෙල්ල කඩාගෙන පහර දීමට හේතුව කුමක්ද? මෙයට දෙපාර්ශවයෙන් ඉදිරිපත් වන්නේ හේතු දෙකකි.

  1. පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉදිරිපත් වන හේතුව නම් ජවිපෙ දැන් වඳවී යන දේශපාලන කණ්ඩායමක් බවත්, ආණ්ඩුවකට කිසිවක් නිදහසේ කරකියා ගැනීමට ඉඩ නොදෙන ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමීම සඳහා තමන් එය කළ බවය.
  2. ජවිපෙ පාර්ශවයෙන් ඉදිරිපත් වන හේතුව නම් පොදුජන පෙරමුණේ දේශපාලන ගමනට ඉදිරියේදී සැබෑ අභියෝගය වන්නේ තමන් බව ඔවුන් වටහාගෙන සිටින බැවින් තමනට දැඩිව පහර දෙන බවය.
නමුත් මේ පිළිබඳව ඉහත කී මුහුණුවර දෙකෙන්ම බැහැරවී සළකා බලන කල ඒ හේතු දෙකම ජවිපෙ දියකර හැරීම සඳහා පොදුජන පෙරමුණේ අසාමාන්‍ය ප්‍රයත්නයට සැබෑ මුඛ්‍ය හේතුවෙන් දුරස් බව පෙනේ.
 
සාමාන්‍යයෙන් ජවිපෙට ඡන්දය ලබාදෙන පිරිස් තවත් කෙනෙකු කිව්වාට ඡන්දය භාවිතා කරන පිරිසක් නොවේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම (මේ මොහොතේ තුනටම) සහය දෙන පාක්ෂිකයන්ට සාපේක්ෂව තමන්ම ස්වයං අධ්‍යයනයකින් පොත පත කියවීමකින් ඇතිකරගත් දේශපාලන සබුද්ධිකභාවයක් ඔවුන් සතුය. අඩුපාඩු තිබුණද තමන්ම ඇතිකරගත් ස්වාධීන දේශපාලන කියවීමක් ඔවුන්ට ඇත. එවන් පිරිසක් විරුද්ධවාදී පාර්ශවයක් විසින් දිගින් දිගටම කියන කාරණා ගුරු කොටගෙන තම දේශපාලන තීරණය වෙනස් කරනවා ඇතැයි සිතීම සැබැවින්ම ඉතා දුප්පත් දේශපාලන පුරෝකථනයකි. වැඩි ඉඩක් ඇත්තේ පොදුජන පෙරමුණ විසින් ඉතා මහන්සියෙන් කියන නිසාම පෙර පැවතියාටත් වඩා උනන්දුවකින් ජවයකින් ඒ එපා කියන දේම සිදු කිරීමටය. පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කෙසේ වෙතත් දේශපාලන න්‍යායාචාර්යවරු එවන් දුප්පත් පුරෝකථනයකට එළඹෙතැයි සිතීම අසීරුය. ඒ අනුව පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන හේතුව යථාර්ථයෙන් බොහෝ දුරස් වේ.
 
ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට පොදුජන පෙරමුණේ ප්‍රධාන දේශපාලන අභියෝගය වීමට තව කාලයක් ගතවනවා ඇත. ඔවුන් හිතුමතේ කටයුතු කිරීම ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ හඬින් යම්තාක් දුරකට රටට හෙළිදරව් වීම විනා ඉදිරි වසර පහ තුල මාලිමාවෙන් පොදුජන පෙරමුණට සිදුවිය හැකි තීරණාත්මක හානියක් නැත. ඒ හෙළිදරව් කිරීම් වලින් පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට සැළකියයුතු හානියක් වන්නේද නැත. මන්ද එහි පාක්ෂිකයන්ගෙන් බහුතරයක් දෙනා දේශපාලනඥයන් සොරාකෑම යන මාතෘකාව සළකා බලන්නේ "රට වෙනුවෙන්, අපේකම, සිංහලකම, බෞද්ධකම, මහින්ද, ජාතික ඇඳුම, අපේ මිනිහා, වැඩක් කරවගන්න පුළුවන් මිනිහා" වැනි ඔවුන් වඩා වැදගත් ලෙස සළකන මාතෘකා වලට බොහෝ පහළිනි. එබැවින් පොදුජන පෙරමුණු ආණ්ඩුවක අඩුපාඩු පෙන්නීම පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ට පොදුවේ ගත්කල මැතිවරණයකදී ගන්නා තීරණයක් සඳහා තීරණාත්මක ලෙස බලපාන්නේ නැත. ඒ අනුව ජවිපෙ ඉදිරිපත් කරන හේතුවද සැබෑ හේතුව සොයා යන ගමනේ⁣දී සැළකියයුතු ලෙස දුරස් බව පෙනේ.
 
එසේ නම් සැබෑ හේතුව කුමක් විය හැකිද?
 
පසුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සමාජ ජාලා තුලින් විශාල හඬක් නැගුණි. "පළමුව ගෝඨාභය ජනාධිපති කරමු, දෙවනුව උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු" යන්න එහි ප්‍රධාන වශයෙන්ම භාවිතා වූ සටන් පාඨයයි. පසුව එය "මහින්ද සමඟ සිටි මිනිසුන් පාර්ලිමේන්තුවට යවමු" යනුවෙන් වෙනස් වුවද පෙර පැවැති සටන්පාඨය උගත් මධ්‍යස්ථ මතධාරීන්ට ඉතා ආකර්ශනීය සටන් පාඨයක් විය.
 
එමෙන්ම "පළමුව ගෝඨාභය ජනාධිපති කරමු, දෙවනුව පාර්ලිමේන්තුවේ ජවිපෙ නියෝජනය වැඩිකරමු" යනුවෙන් පැවසූ සැළකියයුතු පිරිසක්ද විය. මාගේ මිතුරු ලැයිස්තුවේද එලෙස පැවසූ මිතුරන් තරමක් විශාල සංඛ්‍යාවක් සිටියා මතකය.
 
⁣ඉහත කී තත්වයන් දෙකම ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට පැවැති පදනම මහමැතිවරණායේදී යම් තරමකින් හීන කරවන ඒවාය. "උගතුන් බුද්ධිමතුන්" යන්න "මහින්ද සමඟ සිටි මිනිසුන්" ලෙස වෙනස් වෙද්දී කළකිරීමට පත්වන අයට ජවිපෙ ප්‍රමුඛ මාළිමාව යනු සජිත්ගේ දුරකථයටත්, රනිල්ගේ අලියාටත් වඩා පහසු තේරීමකි.
 
ඉහත දෙවනුව කී කණ්ඩායම ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය ලබාදුන්නද මහමැතිවරණායේදී මාළිමාවට ඡන්දය දෙන බව කෙළින්ම කියූ අය වෙති. පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය අවසාන වන තුරු ඒ සම්බන්ධයෙන් මුනිවත රැක්කේය. ජයගත් වහාම ඉහත කී පිරිස ඉලක්ක කොට ඔවුන් මාළිමාව අතහැරිය යුත්තේ මන්දැයි තහවුරු කිරීමට ඉතා වුවමනාවෙන් කරුණු කියන්නට පටන්ගත්හ.
 
ඒ අනුව පොදුජන පෙරමුණ ජවිපෙ ඉලක්ක කරමින් පසුගිය මාස කිහිපය පුරාවට සිදුකරන ලද අතිශයින්ම අසාමාන්‍ය ලෙස විශාල ප්‍රහාරය ජවිපෙන් එන අභියෝගයක් මැඩලීමට වඩා ලක්ෂ 69න් ඉහත කී ඉතා නිශ්චිත කොටස නාය යාම වැලැක්වීම සඳහා ගන්නා ලද ආරක්ෂක පියවරකි.
 
කුඩා පරිමාණයේ ප්‍රහාර වලින් ඇරඹී ඉරාජ්ගේ වීඩියෝව දක්වාම විහිදෙන අති දැවැන්ත කැපකිරීමක් පොදුජන පෙරමුණ මේ වෙනුවෙන් සිදුකරන ලදී. ඒවා⁣යින් ඇතැම් උපක්‍රම යම් ආකාරයකට සාර්ථක ප්‍රතිඵලද පෙන්වූ බව පිළිගත යුතුය. නමුත් සම්පූර්ණ පුරෝකථනයක් කිරීමට තවමත් කල් වැඩිය.
 
උගතුන් බුද්ධිමතුන් යැවීමට සිතා සිට කළකිරුණු අය සහ ජනාධිපතිවරණයේදී ගෝඨා ජනාධිපති කර ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය වැඩිකිරීමට පාරම් බෑ පිරිසගේ දේශපාලන විඥානයට බලපෑම් කිරීමට හෙවත් කණා මුට්ටි ගසන්නා තම බලාපොරොත්තුව ප්‍රකාරව ඇවිද යන සේ හරවා තැබීමට ඉරාජ් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ චිත්ත සංක්‍රමික බලසේනාවට හැකියාවක් ලැබීදැයි නිශ්චිතව හඳුනාගත හැකි වනු ඇත්තේ ඡන්ද ප්‍රතිඵලයෙන් පමණි.
 
 නීතිඥ අතිල අතාවුද