Language Switcher

V2025

මැතිවරණ ප්‍රතිඵල අස්සේ : මංගලගේ න්‍යාය පත්‍රය එළියට !

රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වී සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර, නව යෝජනාවලියක් ජනතාවගේ සංවාදයට යොමුකර ඇත. 

තමා යළි මැතිවරණය දේශපාලනයට එක්නොවන බවට යලිත් සහතික වී ඇති ඔහු, දශක තුනක් පුරා තමා විසින් අගයකළ ප්‍රජාතන්ත්‍රවාදී හා සංහිඳියාව ක්‍රියාමාර්ග යටපත්වීමට ඉඩ නොතබා එවැනි ගුණාංග මතවාදීමය වශයෙන් සමාජගත කිරීමේ මෙහෙයුමක් හෙටින් (අගෝස්තු 06) අරඹන බව කියා සිටියි.

'සැබෑ දේශප්‍රේමියෝ' නමින් ආරම්භ කෙරෙන නව දේශපාලන ගමන් මඟ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

''ශ්‍රී ලංකාව හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොතේ මෙරට ජනතාව අද කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත.  

අපගේ බිය හා පූර්ව නිගමන මත පදනම්ව අපි අපේ රට වෙනුවෙන් නව අනාගතයක් නිශ්චය කරන්නෙමු ද? එසේත්  නැතිනම් සියල්ලන්ම වෙනුවෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපගේ බලාපොරොත්තු හා අභිලාෂයන් මත පදනම්ව අපගේ අනාගතය තීරණය කරන්නෙමුද? 

අප මධ්‍යස්ථභාවය හා අනෙකා ඉවසීම ඈත අතීතයක වඩාත් ශිෂ්ට සම්පන්න යුගයක වියැකී ගිය වටිනාකම් බවට පත්වෙමින් තිබේදැයි නිහඬව සිතමින් සිටින අතර ආගමික හා වාර්ගික උන්මාදයෙන් පෙළෙන්නන් හා අනෙක් මූලධර්මවාදී උමතුවෙන් සිටින්නන් අතලොස්සකට අපගේ අනාගතය තීරණය කිරීමට ඉඩ දෙන්නෙමුද ? 

නිහඬ බහුතරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී මත ප්‍රකාශ අභිබවමින් අන්තවාදයේ මහා වියරු හඬ වඩා හොඳ පුවත් බවට පත්ව ඇත. නිදහසේ සිටම ඝෝෂාකාරී කිහිප දෙනෙකුගේ අන්තවාදය, අනෙකා නොඉවසීම, වෛරය හා ව්‍යාජ ජාත්‍යාලය හමුවේ බහුතරයේ නිහඬතාව අවසානයේදී අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ඛේදනීය අර්බුදය ලෙස කූඨප්‍රාප්තියට පත්ව ඇත. 

අද අප මුහුණ දෙන සුවිසල් අර්බුදයට මුල් වූ හේතු ස්වභාවයෙන් ආර්ථික, ආගමික හෝ සමාජ දේශපාලනික වන අතර ශ්‍රී  ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය දැනුම, අත්දැකීම්, විචාරාත්මක හා විශ්ලේෂණාත්මක චින්තනය මෙන්ම වටිනාකම් අත්කර දීමට මුළුමනින්ම අසමත් වූ අධ්‍යාපන ක්‍රමයක්ද ඒ අතර වේ. 

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදයක් කරා වේගයන් ඇදී යද්දී, වාමාංශික හා දක්ෂිණාංශික පසමිතුරු දේශපාලනයෙන් ඔබ්බට විහිදුණු සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී නව්‍යකරණය, හදිසි අවශ්‍යතාවක්ව පවතී.

එය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ වදන්හි අනුනාදයක් මෙන් ක්‍රි.පූ. 350 දී ඇරිස්ටෝටල් ඔහුගේ ‘පොලිටික්ස්‘ නම් නිබන්ධයෙහි මෙම ‘මධ්‍යස්ථ මූලධර්මය‘ පිළිබඳව ලියමින් එය ධනවතුන් හා දුගියන් අතර පවතින විවරය යා කරන ධාතුව බව පවසයි.  

අද, ශ්‍රී  ලංකාව එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටෙද්දී අපට ඇති එකම විකල්පය මධ්‍යස්ථ ප්‍රවේශය බව වඩ වඩා තහවුරු වෙමින් පවතී.

මධ්‍යස්ථ වටිනාකම් ප්‍රබල ලෙස යළි යළිත් ප්‍රකාශ කිරීම, එනම්, මැද මාවතක්, යුගයේ අවශ්‍යතාව වී ඇත. මෙම මැදමාවත, නිදහස් මතධාරී බව හා මධ්‍යස්ථවාදී වටිනාකම් වෙනුවෙන් රැඩිකල්වාදී කැපවීමකට නිවහන විය යුතුය.  

මේ මොහොතේ අවශ්‍යතාව වන්නේ බුදුරජාණන් වහ්නසේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.

# මැද මාවත නැතහොත් රැඩිකල් මැද මාවත, සාධාරණ, සැලකිලිමත් හා සෞභාග්‍යමත් සමාජයක් දරා සිටින කුළුණු සතර ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාව සහ සාදාරණත්වය යන මූලධර්ම මත. පදනම්ව ඇත. 

# රැඩිකල් මැද මාවත යනු යෙදුම් වල පරස්පරයක් බව බොහෝ දෙනෙකු කීමට ඉඩ ඇති නමුත්, මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට හා සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වුවහොත් හා අවශ්‍ය වූ විටදී අවිහිංසාවාදී අරගලයක් දියත් කිරීමට පවා යම් අයෙකු විශ්වාස කරන දේ මතින් පැන නගින ධෛර්යය හා සමගම මධ්‍යස්ථ  ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි රැඩිකල් යළි කැපවීම් හදිසි අවශ්‍යතාවයකි. 

# රැඩිකල් මැද මාවත, ඒකාධිපතිවාදය, වර්ගවාදය සහ අනෙකුත් සියළු ආකාරයේ අන්තවාදයට සක්‍රියව හා ශක්තිමත්ව එරෙහිවීමට හා සටන් කිරීමට නිහඬ බහුතරයට සැපයෙන මධ්‍යස්ථතාවයෙහි වේදිකාවකි.

# දේශපාලන පරාසයෙහි සෑම කොටසකින්ම නැගෙන විකල්ප මතධාරීන්ගේ හඬට හා මතවලට විමධ්‍යගත පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ස්ථානයක් හිමිවනු ඇත්තා වූ මධ්‍යස්ථවාදී මැද මාවතක් නිර්මාණය කිරීම රැඩිකල් මැද මාවතට උරුම වේ. එය, විද්‍යාමාන වන සියළු ආකාරයෙන් විවිධත්වයට ගරු කරන ක්‍රමයකි; 

# බහුත්වවාදය සහ ආගමික සහ අධ්‍යාත්මික සංකල්ප වලින් බැහැරවීම වැජඹෙන අවිහිංසාවාදී , ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ විවිධ ප්‍රජාවන් අතර වසර ගණනක ගැඹුරු අවිශ්වාසයේ වේදනාව වියැකී යා යුතුය. 

# රැඩිකල් මැද මාවත, නොඉවසන සුලු තැනැත්තන්ට ඔවුන් වෛර කරන්නන් සැබැවින්ම ඔවුන්ට බොහෝ සෙයින්ම සමාන බවත්, මනුෂ්‍යයන් ලෙස ඔවුන්ටද එකම සිහින හා අභිලාෂයන් මෙන්ම බිය සහ කණස්සල්ලද තිබෙන බවද පෙන්වා දිය යුතුය.

# රැඩිකල් මැද මාවත, සියළු ශ්‍රී ලාංකිකයන්  ජාතියේ, ආගමේ හා කුලයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ පොදු මනුෂ්‍යත්වය සොයා ගන්නා ස්ථානය විය යුතුය. 

# ශ්‍රී ලංකාව මුළුල්ලේ සිටින නිවැරදි චින්තනයක් ඇති සියළුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ඔවුන්ගේ නිහඬතාවය බිඳදමා එක්සත් විය යුතුය. 

# කිහිපදෙනෙකුගේ දුෂ්ට පාලනය පරාජය කළ හැක්කේ නිහඬ  බහුතරය, සැබෑ දේශප්‍රේමීන් ‘ඇති කියන්නෙ ඇති‘  යැයි කීමට ඔවුන්ගේ නිද්‍රාවෙන් අවදි වුවහොත් පමණි.   

# ශ්‍රී ලංකාවේ දේශප්‍රේමිත්වය ‘සැමුවෙල්ගේ ප්‍රයෝගකාරයාගේ අවසාන රැකවරණය’  බවට පත්ව ඇත. අද දරිගැන්වෙන දේශප්‍රේමිත්වය නිදහසේ සිටම  අපගේ පරිහානියයේ ගමනට ප්‍රධාන හේතුව වී ඇති තුනී පටලයකින් සැඟවූ ජාතිවාදය සහ පමණට වැඩි උනන්දුවක් සහිත උග්‍ර ජාතිභක්තිමදයයි. 

වැඩවසම් ගොත්‍රීක ආකල්ප සහ පශ්චාත් ‛56 යුගයේ ‘කුඩා ළිඳ තුළ විසල් මැඩියා‘ මානසිකත්වය ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී  ලංකාවක ඉලක්ක සහ අභිලාෂයන් පිලිබිඹු කිරීමට  දේශප්‍රේමීත්වය යළි නිර්වචනය කිරීම අවශ්‍යව ඇත.  

අපගේ එක් එක් පෞරාණික සංස්කෘති සහ ආගම්වල විවිධත්වයට සහ මහිමයට ගරු කරන අතරම ශ්‍රී ලංකාවේ ජාතිකවාදී සහ විශ්ව දේශී සත්‍ය දේශප්‍රේමීන් නිදහස, ප්රීතිය හා සෞභාග්‍ය කරා සෙසු ලෝකය සමග අත්වැල් බැඳ ගමන් කිරීමට එක්සත් විය යුතුය. 

01 -  අප 21 වැනි සියවසේ දෙවැනි කාර්තුව කරා ගමන් කරමින් සිටිද්දී, ප්‍රජාතන්ත්‍රවාදය, එහි සියළු අඩුපාඩු තිබියදීත් හොඳම පාලන ක්‍රමය ලෙස පවතී. 

විධායකය, හමුදාව සහ පුජ්‍ය පක්ෂය වේගයෙන් ඒක්රැස් වීම සමඟ ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයක් කරා පිම්මේ ගමන් කරමින් සිටින අතරේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සුවිසල් කැපවීමක් යුගයේ අවශ්‍යතාව බවට පත්ව ඇත; 

ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හුදෙක් විධායක ජනාධිපතිගේ රබර් මුද්‍රා පමණක් බවට පත් කරනු ලැබෙමින් තිබේ. 

02 - ශ්‍රී ලාංකික දේශපාලන දේහය සකසන විවිධ ජාතීන් සහ ආගම් අතර ප්‍රතිසන්ධානය සහ සමානාත්මතාව ශ්‍රී ලංකාවට සිය පූර්ණ විභවය යොදවා ගැනීම පිණිස අත්‍යවශ්‍ය වූවකි. ශ්‍රී ලාංකිකයන් එක්සත් රටක් ලෙස ප්‍රගතිය  හා සෞභාග්‍ය අත්කර ගැනීමට නම්, අපගේ වාර්ගික, සංස්කෘතික සහ ආගමික විවිධත්වයට ගරුකිරීමට අපට හැකි විය යුතුය. 

03 - ගෞරවයෙන් තොර හා වෙනස් කොට සලකන හැසිරීම හා සමඟම වර්ගවාදය, වෛරී ප්‍රකාශ සහ වාර්ගික/ආගමික අන්තවාදය අපගේ සමාජයෙහි නිර්මිතය විනාශ කරන පිළිකාවක් බවට පත්ව ඇත. වර්ගවාදය සහ අනෙකුත් සියළුම ආකාරයේ අන්තවාදය සීමා රහිත ලෙස හෙළා දැකීම සහ ඒවාට උද්වේගකාරී ලෙස එරෙහි වීම කළ යුතුය. 

04 - භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සහ රැස්වීමේ සහ විරෝධය පළ කිරීමේ නිදහස ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක සංඝටනීය පාර්ශ්ව වේ.  

05 - අපගේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා පවත්වා ගැනීම කළ යුතුය. ශ්‍රී  ලංකාව තමන් අත්සන් තබා ඇති සියළු හර ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කිරීමද කළ යුත්තේ එබඳු වගකීම් උත්ථම්භනය කිරීමේ ප්‍රතිලාභියා වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව නොව ශ්‍රී  ලංකාව සහ සමස්ත ශ්‍රී  ලාංකික ජනතාව වන බැවිනි. 

06 - රජු, පූජකයා හෝ සොල්දාදුවා වේවා කවර හෝ තැනැත්තකුවත් නීතියට ඉහළින් නොසිටින ශිෂ්ට සම්පන්න සමාජයකට නීතියේ ආධිපත්‍ය ද අනිවාර්ය පූර්ව අවශ්‍යතාවකි. නීතිය ක්‍රියාවේ යොදවන ආයතන සවිබල ගන්වා ශක්තිමත් කළ යුතු අතර ඒවා පරම ස්වාධීන මෙන්ම දේශපාලන මැදිහත් වීමෙන් නිදහස් විය යුතුය. 

07 - විධායකය හෝව්‍යවස්ථාදායකය විසින් කවර හෝ ආකාරයකින් එහි බලය අයුතු ලෙස අත්කර ගැනීමෙන් තොර ස්වාධීන අධිකරණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවකි. 

08- 1977 දී වෙළෙඳපොල ආර්ථිකය වැළඳ ගත් පළමු රටවල් අතරින් එකක් වූ ශ්‍රී  ලංකාවේ තවමත් ඇත්තේ, ඉඳුරාම යල් පැන ගිය නීති හා ‘සමාජවාදී මානසිකත්ව‘ ගොහොරුවෙහි ගිලී ඇති විධාන ආර්ථිකයකි.  ශ්‍රී ලංකාව කලාපයේ වේගවත් හා තරගකාරී ක්‍රියාකාරියෙකු බවට පත් කිරීම පිණිස දූර දර්ශී ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. 

ගජමිතුරු ධනවාදී ආර්ථිකය වෙනුවට සියළු ආයෝජකයන්ට හා අනෙකුත් ආර්ථික ක්‍රියාකාරීන්ට නීති මත පදනම් වූ සමාන අවස්ථා සපයන ශක්තිමත් හා ක්‍රියාශීලී වෙළෙඳපොල ආර්ථිකයක් ආදේශ කළ යුතුවඇත. 

09 - දූෂණය, නාස්තිය සහ වැරදි කළමනාකරණය අද රාජ්‍ය අංශයේ විනාශයට හේතු වී තිබේ. දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රහාර එල්ල කරනු වස් දූෂණ චෝදනා හැමවිටම ආයුධයක් සේ යොදා ගැනෙන නමුත් වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම හෝ මෙම පිළිකාව පාලනය කිරීම සඳහා දැඩි දූෂණ විරෝධී නීති හඳුන්වා දීමට හෝ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනේ.

10 - නාස්තිය සහ වැරදි කළමනාකරණය පුළුල් ලෙස පැතිර පවතින රජය සතු ව්‍යසයික කාර්යභාරය යළි නිශ්චය කළ යුතුව පවතී. 

11  - වර්ගවාදය හා දූෂණය සමඟම මත්ද්‍රව්‍ය අපගේ සමාජය වනසා දමන වසංගත වලින් එකක් බවට පත්ව ඇත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට ඉහළම දේශපාලන අනුග්‍රහය ලැබෙන අතර කැසිනෝ, කොටස් වෙළඳපොළ, මාධ්‍ය ආයතන ආදිය හරහා මත්ද්‍රව්‍ය වලින් උපයන මුදල් ප්‍රධාන ධාරාවේ විධිමත් ආර්ථිකය තුළට විශුද්ධිකරණය සිදු වේ. 

මත්ද්‍රව්‍ය අවභාවිතයට එරෙහි සටනේදී, ඇබ්බැහි වූවන් හා පහළ මට්ටමේ මත්ද්‍රව්‍ය වෙළඳුන් පමණක් නීතිය ඉදිරියට පමුණුවනු ලැබේ. මෙම ව්‍යසනය පාලනය පිණිස නව දැඩි නීති වහා අවශ්‍යව ඇත. අන්තවාදයට හා මත් ද්‍රව්‍ය අවභාවිතයට එරෙහි තෙවදෑරුම් යුද්ධයක් යුගයේ අවශ්‍යතාවය වන අතර ඇබ්බැහි වූ යොවුන් පිරිස් වලට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දිය යුතුය.  


12 - ශ්‍රී  ලංකාව තුළ කුසලතාතත්‍රයක් නිර්මාණය කළ යුතු ඇති අතර ඒ සඳහා පුද්ගලවාදී දේශපාලන අනුග්‍රහකත්වයේ සංස්කෘතිය අවසන් විය යුතුව ඇත.  සියල්ලන්ටම සම අවස්ථා සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී  ලාංකික කුසලතා තන්ත්‍රයක් අනිවාර්ය පූර්ව අවශ්‍යතාවකි. 


13 - දුප්පතුන්, දුර්වලයන් හා අවාසනාවට ගොදුරුවූවන් ආරක්ෂා කිරීමට ශක්තිමත් සමාජ ආරක්ෂක ජාලයක් සහිත නවීන වෙළඳපොළ ආර්ථිකයක ගමන් කළ යුතුමය. 

14 - ඉතා වැදගත් භූගෝලීය පිහිටීමක ආශීර්වාදය ශ්‍රී  ලංකාවට හිමිව ඇති අතර රටට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස අපට ආකර්ෂණීය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ඉඩම් හා විදේශ ආයෝජන කෙරෙහි වන ̒ ගෝත්‍රීක ආකල්පයෙන් අප බැහැර විය යුතුය.

15 - අසමානතාව හා අසාධාරණත්වය සමඟ පුළුල් වන විෂමතා අද අධ්‍යාපන ක්‍රමයේ සම්මතය වී ඇත. රටේ අවශ්‍යතා ඉටු කිරීමට, විශේෂයෙන්ම අන්තහ්කරණය හා විවිධත්වය කෙරෙහි ගෞරවය නොමැතිකම වැනි ප්‍රධාන ගැටළු විසඳාගෙන නවෝත්පාදක, තමන් මත පමණක් යැපෙන තත්ත්වයට පත්ව ගෝලීය වශයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී  ලංකාවට උපකාරී වීමට අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම අසමත්ව ඇත. 

විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ගණිතය හා තාක්ෂණය අවධාරණය කරමින් 21 වැනි සියවසේ ඉගෙනුම කරා සිසුන් මෙහෙයවීම මගින් අධ්‍යාපන ක්‍රමය පූර්ණ ලෙස යළි සැකසීම අවශ්‍යය.

 තෘතීය අධ්‍යාපනයෙහි ආසියානු හා ගෝලීය යෝධයන් හා සම මට්ටමේ සිටින සේ ශ්‍රී  ලංකාවේ විශ්ව විද්‍යාලවල තත්ත්වය උත්ශ්‍රේණිගත කළ යුතුය. 

සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වය, ලිංගික අඩන්තේට්ටම් හා නවක වදය විශ්ව විද්‍යාලවලින් තුරන් කර දැමිය යුතුය. එසේ ඉගෙනුමට කැමැත්තක් දක්වන සියල්ලන් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි බවට පත් කළ යුතු වේ. 

16 - මාධ්‍ය ආදායම් රටවල අලුතින් පැන නගින රෝගවලට මෙන්ම පශ්චාත් කොරෝනා සමාජයේ අභියෝග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය නව තාක්ෂණය හා චිකිත්සාවන් සහිතව ශක්තිමත් හා නවීකරණය කිරීම අවශ්‍යය. 

අන්තරායකාර ඖෂධ, දුම්කොළ හා මාධ්‍යසාර අවභාවිතය හේතුවෙන් ඇති වන බරපතල සෞඛ්‍ය ගැටළුවලට වහා විසඳුම් සැපයිය යුතුය.

17 - 2017 දී සීමාන්තික කාලගුණික තත්ත්වයන්ගේ වැඩිම බලපෑමට ලක් වූ රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ වූ අතර ම ලෝක බැංකුවට අනුව දේශගුණික විපර්යාස හේතුවෙන් 2050 වන විට වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය 1.2ක් අහිමි වීම අපේක්ෂා කෙරේ. 

තිරසාර සංවර්ධනය, වැඩිවන දේශගුණික විපර්යාස හා ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා  වැඩිදියුණු වූ යටිතල පහසුකම්, වෙළඳපොළ කෙරෙහි නැඹුරු වූ ප්‍රතිසංස්කරණ, වැඩි කළ මානව ධාරිතා හා වඩා ශක්තිමත් ආයතනික ධාරිතා හා සම්බන්ධ වන බැවින් ඒය හොඳම අනුවර්තන උපායමාර්ගය ලෙස සැලකේ. 

18 - 1931 දී සර්වජන ඡන්ද බලය ලබා දුන් ආසියාවේ ප්‍රථම රටව තිබියදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ භූමිකාව, විශේෂයෙන්ම දේශපාලන, ව්‍යාපාරික සහ වාණිජ ක්ෂේත්‍ර තුළ, සතුටුදායක නැත. 

කාන්තාවන්ගේ ගෞරවයට හා  අභිමානයට සතුරු බොහෝ  ප්‍රතිගාමී නීති අදටත් බලාත්මකව පවතී. නවීන සංවර්ධනය වන ජාතියක් සේ පෙරට යාමට ශ්‍රී ලංකාව මෙම අසමානතා නිවරදි කිරීමට හදිසි ප්‍රමුඛතාව දිය යුතුව ඇත. 

19 - එකඟ වූ වැඩිහිටියන් අතර සම ලිංගික සබඳතා පාලනය කරන යල් පිනූ වික්ටෝරියානු නීති ඉවත් කිරීම සඳහා වන අරගලයේදී LGBTQ ව්‍යාපාරයට සහාය හා දිරි ගැන්වීම සැපයිය යුතුය. 

ලිංගික නැඹුරුව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වාර්ගිකත්වය, කුලය හෝ ආගම කුමක් වුවත් සියළු මනුෂ්‍යයන්ට  සමාන ලෙස සැලකිය යුත අතර විද්‍යාමාන වන සියළු ආකාරයේ විවිධත්වයට ගරු කරනු ලැබිය යුතුය. 


20 - ළමා ශ්‍රමය හා ළමයින් ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කිරීම ගැඹුරට මුල් බැස ගත් ගැටළුවක්ව පවතී. ඇතැම් කණ්ඩායම් හා ප්‍රජාවන් තුළ දරුවන් දෙමවුපියන්ට රිසි දෙයක් කළ හැකි ඔවුන්ගේ දේපළක් සේ දකිනු ලැබේ ; 

එබැවින් බෞද්ධ ප්‍රජාවේ දුගී කොටස් අතර ළාබාල දරුවන් මහණ කිරීමද මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහද සිදු වේ. ළමා වියේදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අපයෝජනයට ලක් වූ ළමයි වැඩිහිටියන් වූ විට අපරාධකරුවන් බවට පත්වෙති; නවක වදය හා ලිංගික අඩන්තේට්ටම් එබඳු තත්ත්ව  විද්‍යමාන වීම් වේ. 
 

21 - ශ්‍රී ලංකාවේ 1907 සත්ව හිංසා වැළැක්වීමේ  ආඥාපනත සතුන්ට කෲරත්වයට එරෙහි ප්‍රමාණවත් නොවන නිවර්තකයකි. මෙම නීතිය සමාලෝපනය කර, සියළු සත්වයන් කෙරෙහි සහවේදනය හා දයාව වෙනුවෙන් පෙනී සිටිමින් සත්ව සුබ සාධනය පාලනය කරන නව නීති පැනවීම වෙනුවෙන් හදිසි හදිසි අවශ්‍යතාවක් පවතී.