ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන, කථානායකවරයාගේ අනීතික තීරණය ආපසු හැරවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂය මෙසේ සඳහන් කරන්නේ මිනීමැරුමක් සම්බන්ධව මරණීය දණ්ඩනය ලබා සිටින ප්‍රේමලාල් ජයසේකර ( චොකා මල්ලි ) ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීමට අවස්ථාව ලබාදීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කිරීම පිළිබඳව ය.
මේ සම්බන්ධ නිවේදනය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. මරණීය දණ්ඩනයෙන් දඩුවම් ලැබූ අපරාධකරුවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත හැකි බවට වන කිසිදු පූර්වගාමී තීන්දුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ දක්නට නැත.
ප්‍රේමලාල් ජයසේකර එදිරිව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නඩුකරය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ප්‍රේමලාල් ජයසේකර යන අයව පාර්ලිමේන්තු රැගෙන යාමට අවශ්‍ය නියෝග ලබාගැනීමට ගොනු කළ නඩුකරයකි.
අභියාචනාධිකරණ තීන්දුව මොකක්ද ?
මෙම නඩුවේදී අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ " මෙම අධිකරණය කිසි ලෙසකින්වත් අදාල පත්වීමේ වලංගුභාවය හෝ අවලංගුභාවය, ඔහුගේ පත්වීමේ හෝ වෙනත් නුසුදුසුභාවයක් සම්බන්ධව විමසීමක් නොකරන අතර බන්ධනාගාර කොමසාරිස් වරයාගේ ප්‍රශ්න ගත ලිපිය මත අභියෝග කොට ඇති පරිපාලන නීති කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ලබයි" ඔහු වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ " පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීම, ඡන්දය ප්‍රකාශ කිරීම යන කරුණු මෙම අධිකරණය හමුවේ ප්‍රශ්නගත කරුණු නොවන අතර" ඊට අදාල ක්‍රියාමාර්ගය ලෙස ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ "එම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කථානායකවරයා හෝ වෙනත් නිසි අධිකාරයක් විසින් තීරණය කළ යුත්තක් " බවයි.
ඒ අනුව අභියාචනාධිකරණ නියෝගය ප්‍රේමලාල් ජයසේකර යන අයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරිය හැකි බවට වන නියෝගයක් කිසි ලෙසකින්වත් ප්‍රකාශ කොට නැති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සරත් ෆොන්සේකා එදිරිව පාර්ලිමේන්තු මහ ලේකම් නඩුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාව ප්‍රකාරව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුස්සකු වන බවට කථානායකවරයා ලබා දී තිබූ නියෝගය ස්ථිර කරමින් ලබාදුන් නියෝගයට එරෙහි නියෝගයක් ලබාදීමේ නෛතික හැකියාවක් අභියාචනාධිකරණයට කිසිසේත්ම නොමැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද්ධාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවේ දක්වන ක්ෂේත්‍රය මත වන නිසි අධිකරණයක් බවට තීරණය කරන ලද අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) හා 91 (1) (අ) ව්‍යවස්ථාවන් පහත පරිදි දක්වා ඇත්තේ ය.89 (ඈ) ව්‍යවස්ථාව,
"යම් කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඩුවමක් විදිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඩුවම සම්පූර්ණයෙන්ම විද සිටියේ නම් නැතහොත් මරණීය දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාර ගත කිරීමේ දඩුවමක් විදිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඩුවම සම්පුර්ණයෙන් විද සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය "
91 (1) (අ) ව්‍යවස්ථාව
"යම් කිසි තැනැත්තෙකු 89 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කරගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය"
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමේ නුසුදුසුභාවය සම්බන්ධ නියෝගයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 ව්‍යවස්ථාවන් ප්‍රකාරව ලබා දිය යුත්තේ කථානායකවරයා විසින් බව අතිශයින් පැහැදිලි වේ.
සරත් ෆොන්සේකා මහතාගේ නුසුදුසුභාවය සම්බන්ධ කථානායකවරයාගේ නියෝගයට අමතරව මෙම කාරණයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු ලබා දී ඇති පූර්වගාමී තීංදු කිහිපයක් පහක දැක්වේ.
එක්සත් රාජධානියේ පහළ මන්ත්‍රී මණ්ඩලය මගින් මන්ත්‍රීවරුන් දෙදෙනකු ධූරයෙන් නෙරපනු ලැබූයේ ඔවුන් සිර දඩුවම් ලැබීම නිසාය.
වර්ෂ 1922 දී හොරේෂියෝ බොටම්ලි මන්ත්‍රීවරයා ධූරයෙන් පහකිරීමට හේතුවූයේ වංචනික ක්‍රියාවක් හේතුවෙන් වසර 07ක සිර දඩුවම් නියම වූ නිසාය. එමෙන්ම වර්ෂ 1954 දී පීටර් බේකර් මන්ත්‍රීවරයා කූඨ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ වසර 07ක සිර දඩුවම් නියම වීම හේතුවෙන් මන්ත්‍රී ධූරයෙන් නෙරපා හරින ලදී.
කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆ්‍රෙඩ් රෝස් හට වසර 06ක සිර දඩුවම් නියම වීම යන කාරණය මත මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා ඔහුගේ ධූරය හිස් වූ බවට නියෝග කරන ලදී.
කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය හාවි එදිරිව නිව් බ්‍රන්ස්වික් නඩුවේදී විනිසුරු මැක්ලේඩ් ප්‍රකාශ කොට සිටි " ප්‍රජාතන්ත්‍රවාදයන් සුරක්ෂිත වීමට නම් ඒ විසින් නියෝජනය ලැබීමට සිටින හෝ ධූරයන් දරමින් සිටින අයගේ වැදගත්කම සහතික කළ යුතුය" යන ප්‍රකාශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති මෙම කාරණයට අතිශයින් අදාල බව කිව යුතුය.
කථානායකවරයා ඔහුගේ අනීතික තීරණය යළි සලකා බැලීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැතිව පූර්වගාමී නියෝග හා පාර්ලිමේන්තුවේ උසස් සම්ප්‍රදායයන් ඉවත ලා කටයුතු කිරීම අනාගතයේදී ත්‍රස්තවාදීන් පවා පාර්ලිමේන්තුවට පත්වීමේ මග සකස් කිරීමක් වනු ඇත.