නූතනවාදී දේශපාලන ගමනකට  අපි එකතුවෙමු - මංගල

නූතනවාදී දේශපාලන ගමනකට  අපි එකතුවෙමු - මංගල
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු 'ස ෆේල්' යයි ඇතැමුන් ප්‍රකාශ කලත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු මුදල්  අමාත්‍ය මංගල සමරවීර පවසයි.
 
''රටේ බහුතර ජනතාවට තනි සිංහල - බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා...'' යයි ඔහු කියා සිටියේ ඊයේ  (20 ඉරිදා ) මාතර පැවති 'මාතර හමුවට' එක්වෙමිනි.
 
'මාතර සමාජය' වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුනේ මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක, මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසිනි.
 
එම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානය නියෝජනය කරමින් එක්වූ මාතර හිටපු අමාත්‍ය  මංගල සමරවීර තවදුරටත් මෙසේද පැවසිය.
 
''මහ ඡන්දය ඉවරවෙලා මාස 4 යි. මුළු මහත් රටම අවුල් ජාලාවක්. 70 ගණන්වලවත් නොතිබුණ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. වංචා දූෂණ අහසටත් උඩින් ගිහිල්ලා, නීතියේ ආධිපත්‍ය ගිලිහී ගිහිල්ලා, ආයෝජකයන් වෙන රටවලට යනවා, ජාත්‍යන්තරය හුදෙකලා වෙනවා.
 
 දැන් යන යන තැන කියන්නේ 'සර් ෆේල් කියලා. 
 
පොහොට්ටුවට ඡන්දය දීපු අයත් කියනවා "සර් ෆේල් කියලා. වොයිස් කට් සාදුලත් කියනවා සර් ෆේල් කියලා. හොර රහසේ මතුර මතුර යනවා. 
 
විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර් ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.
 
නමුත් මිත්‍රවරුණි මම කියනවා 'සර් නෙවෙයි ෆේල්.  සර් නියෝජනය මතවාදය තමයි යළි වතාවක් ෆේල් වෙලා තියෙන්නේ කියලා.
 
වත්මන් දේශපාලන තත්වය තවදුරටත් විග්‍රහ කල මංගල සමරවීර අමාත්‍යවරයා , 1956 බණ්ඩාරනායක යුගයේ සිට මෙම මතවාදීමය ප්‍රෝඩාවෙන් ජනතාව මුලාකරමින් රට අගාදයකට ගෙනගිය ආකාරය පෙන්වා දුන්නේය.
 
තුනෙන් දෙකක ජනතාවකගේ සහය ලැබුනත් මේ මතවාදයෙන් තවදුරටත් රටට හෝ ජනතාවට සෙතක් නොවනබව පැහැදිලි කල මංගල සමරවීර, තුනෙන් දෙකක බලයක් ලැබුන හැම අවස්ථාවක ම රට විනාශයකරා ගියබව පැවසිය.
 
 ''රට යළි ගොඩනැගීමට විකල්ප මතවාදයක් අවශ්‍යයි''
 
රට යළි ගොඩනැගීමට විකල්ප මතවාදයක අවශතාවය ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
 
දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් යලි ගොඩනැගීම සඳහා 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය' ක් හඳුන්වාදුන් බව පැවසු මංගල, අපට එම මතවාදය අලුත් දෙයක් නොවන බවත් වසර 2500ක් ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශනයේ හරය ඊටත් වඩා මානුෂික බව පෙන්වා දුන්නේය.
 
'අද ලෝකයේ ඉතාමත් දියුණු බටහිර රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසේ ක්‍රියාත්මක වන්නේ ලිබරල් ඩිමෝක්‍රසි  දේශපාලන මතවාදය මත...
 
නමුත් අවුරුදු 2500 ඉස්සෙල්ලා ඔය දර්ශනය ලෝකයට කියා දුන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. බෞද්ධ බහුතරයක් ජීවත්වන අප ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ බෞද්ධ දර්ශනයේ හරය මත පදනම් වූ පාලන ක්‍රමයක්.
 
මම මේ කතා කරන්නේ ඉන්දියාවේ වගේ හරක් මස් තහනම් කරන්නවත්, මුස්ලිම් රටවල වගේ ඌරුමස් තහනම් කරන්නවත් නෙවෙයි.
 
මම මේ කතා කරන්නේ මැද පෙරදින වගේ මත්පැන් හල් වහන්න නෙවෙයි.
 
මම මේ කතා කරන්නේ ගෑණු ළමයින්ගේ කකුල් වහලා ළමා සාරි අන්දන එකවත් නෙවෙයි.
 
බෞද්ධයන් හැටියට අපි සෑම විටම කියන සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන සිතුවිල්ල වටා නූතනවාදී දේශපාලන ගමනකට  අපි එකතුවෙමු කියලා මම ආරාධනා කරනවා. '' ඔහු වැඩිදුරටත් පැවසිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න