මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ජාලයක් විසින් ජනගත කරන ලදුව දිනපතා පුවත් මැවූ පෙදරේරුවකු වූ ධම්මික බණ්ඩාරගේ කුප්‍රකට කොරෝනා පැණියට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම කොරෝනා පැණි මතුවෙමින් තිබේ.
ආසන්නම වාර්තාවීම සිදුවන්නේ රිටිගල සිංහක්කාර පරපුර නිෂ්පාදනය කරන ලද බව කියන කොරෝනා පැණියයි.රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ නම් අයෙකු උපුටා දක්වමින් වන මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන් වන්නේ ඔවුන්ගේ කොරෝනා පැණියද සාර්ථක බවයි.
ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බව ද ඔහු කියා ඇති නමුත් ඒ මොනවාද කියා සඳහනක් නැත.රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ ලබාදී ඇති බවත් මෙම පරීක්ෂණ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඖෂධ ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කර ඇත.
ධම්මික පැණිය කනස්සල්ලෙන් !
මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් ඊයේ (23) වාර්තා කල අතර දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව පසුගිය 21 වනදා අදාළ අනුමැතිය ලබාදී ඇති බව එහිදී කියැවින.
සූත්‍ර කමිටු විසින් පසුගිය විසි එක් වෙනිදා මෙම අනුමැතිය ලබාදුන් බව දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසූරිය ද උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පළවූ අතර ඒ අනුව එම ඖෂධය ආයුර්වේද පාර්තමේන්තුව ලියාපදිංචි කළ බවට ලේකම්වරිය සඳහන් කර සිටියාය.කෙසේ වුවත් ඊයේ (23) මාධ්‍ය හරහා දැකගන්නට ලැබුනේ අදාල ලියාපදිංචි කිරීමේ සහතිකය රැගෙන ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය අවස්ථාවේ සහතිකය සම්බන්ධව ඔහු විරෝධය දක්වන ආකාරයයි.ඒ අදාල සහතිකයේ කිසි තැනෙක කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය ඖෂධය ලෙස සටහන්ව නැති බවත් ඖෂධ නිෂ්පාදනාගාරයකට අවසරදීම පමණක් සිදුව ඇති බවටත් කියමින්ය.
ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලත් ඖෂධ පමණක් නිෂ්පාදනය කල හැකි යයි එහි සටහන්ව ඇතැයිද ඔහු චෝදනා කළේය.එපමණක් නොව මෙවැනි සහතිකයක් දෙන්න නම් මෙතරම් දුරක් ඔහුව ගෙනාවේ මන්දැයි ද ? අදාළ සහතිකය තමන්ට කරන ලද නින්දාවක් බවත් ඔහු පැවසීය.
භින්නෝන්මාද රෝග තත්ත්වයේ ලක්ෂණයක් !
කෙසේවුවත් ජේෂ්ඨ මනෝවිද්‍යාඥයකු වන මධුර සංඛ ගුණවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ වැදගත් සටහනක් තබා ඇති අතර එහි මෙසේ සඳහන් කර ඇත.
භින්නෝන්මාද ( Schizophrenia ) රෝග තත්වයේ එක් ලක්ෂණයක් තමයි යම් බලයක් හෝ හැකියාවක් තමන්ට ඇතැයි විශ්වාස කිරීම (Delusion of Grandeur).ඔහු හෝ ඇය රෝග තත්වය නිසාම එය දැඩිව විශ්වාස කරනවා. කිසිවෙකුත් එය සත්‍ය නොවේ යැයි පැවසූ විට ඔවුන් සමග උරණ වෙනවා. මේ අයගේ Insight Poor වූ විට ප්‍රතිකාර කිරීම ඉතා අපහසුයි.එනම් රෝගය නිසාම තමන්ට මානසික රෝගයක් ඇතැයි නොපිළිගැනීම.සමාජ විරෝධී පෞරුෂ ගතිලක්ෂණ ඇති විටත් ( Anti Social Personality Traits) ඇතැමුන් ව්‍යාජ වෙදුන් ආකාරයට පෙනී සිටිනවා.
වග කිවයුතු රජයක් එවන් පුද්ගලයන්ට අනුබල දීමෙන් සමාජය තවත් මිත්‍යාව , රැවටීම සහ අවිධිමත්භාවය කරා ඇදී යනවා..!
රට පුරා ගලන කොරෝනා පැණි ගැන අගමැතිට විශ්වාසයක් නැද්ද ?

මේ ආකාරයට රට පුරා කොරෝනා වෛරසය සුවපත් කළ හැකි බවට විවිධ පැණි මතු වුවත් මේ වන විට නුතන දියුණු රටවල් කිහිපයක් විසින් කොවිඩ් 19 සඳහා සායනික පරීක්ෂා කිරීම් වලදී සාර්ථකවූ එන්නත් වර්ග කිහිපයක් මෙරටට ආනයනය කිරීමේ අවස්ථාව සොයා බැලීම සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පත්කර ඇත.
මාධ්‍ය වාර්තාවල සඳහන් වුයේ අදාළ පත්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සිදුකර ඇති බවය.
එසේම අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසැම්බර් 13 වනදා නිකුත් කළ නිවේදනයෙන් සඳහන් වුයේ "කෝවිඩ්-19 ට සොයාගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි" අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති බවය.

