ටයිල් තහනමෙනුත් ආණ්ඩුව හිරවෙයි : දැනට රුපියල් බිලියන 9ක බදු නැති කරගෙන !

ටයිල් තහනමෙනුත් ආණ්ඩුව හිරවෙයි : දැනට රුපියල් බිලියන 9ක බදු නැති කරගෙන !
සෙරමික් ඇතුළුTile ආනයනය තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර හේතුවෙන් මසකට රුපියල් බිලියනයක පමණ තීරුබදු ආදායමක් ආණ්ඩුවට අහිමිවෙමින් ඇති බව වාර්තා වෙයි.
 
ඒ අනුව තහනම ක්‍රියාත්මක මාස 9ක පමණ කාලය තුළ රජයට රුපියල් බිලියන 9ක පමණ බදු ආදායමක් අහිමිව තිබේ.
 
එසේම සෙරමික් ඇතුළුTile ආනයනය තහනම් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත සෘජු සහ වක්‍ර ආදායම් ලැබූ 100000 කට පමණ ආදායම් අහිමිව ගොස් ඇති බවත් වාර්තා වෙයි.
 
වත්මන් ආණ්ඩුව විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් ආනයන ආදේශක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව සඳහන් කරමින් තෝරාගත් භාණ්ඩ වර්ග කිහිපයක ආනයනය තහනම් කරනු ලැබිණ. 
 
විදෙස් විනිමය ඉතිරි කරගැනීම වෙනුවෙන් එකී ප්‍රතිපත්තිය නිවැරදි බවට තර්කයක් ඇතත් 100%ක තහනමක් පැණවීම ගෝලීය සහ කළාපීය ආර්ථික හැසිරීම තුළ කොතරම් වලංගුද යන්න සිතා බැලිය යුතු තත්ත්වයක් මේ හමුවේ පෙන්නුම් කරයි.
 
මේ සම්බන්ධව සැකසූ විශේෂ ලිපියක් පහත දැක්වෙයි.
 
ආනයන සීමා කිරීමෙන් දෙතුන් දෙනෙකුට අධික ලාභ - එහි මිල ගෙවන්නේ අහිංසක පාරිභෝගිකයන් !
 
වත්මන් ආණ්ඩුව විසින් විදේශ විනිමය ඉතිරිකර ගැනීම අරමුණු කරගනිමින් ආනයන ආදේශක ප්‍රතිපත්තියක් හඳුන්වාදී ඇත. විදෙස් විනිමය ඉතිරි කර ගැනීම වෙනුවෙන් වන ප්‍රතිපත්තියක් ලෙස එය නිවැරදි වුවත් මෙම සීමාකිරීම් සෑම භාණ්ඩයක් සඳහාම ගැලපෙන්නේද යන්න ප්‍රශ්නයක්ව පවතී. එයින්ද තෝරාගත් ඇතැම් භාණ්ඩ මත 100%ක ආරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධව යළි විමසා බැලිය යුතු තත්ත්වයක් මතුව තිබේ. එහිදී සඳහන් කළ යුතු මූලික කරුණක් වන්නේ විදෙස් විනිමය ඉතිරි කරගැනීමේ අපේක්ෂාවෙන් 100% ක ආරක්ෂණ ක්‍රමවේදය වත්මන් ගෝලීය සහ කළාපීය ආර්ථික හැසිරීම තුළ අතාර්කික බවය. මන්ද ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය වැරදි ලෙස අනුගමනය කිරීමේදී වෙළඳපොළ තරගය වෙනුවට වෙළඳපල ඒකාධිකාරයන්  බිහිවීමය. අනෙක් අතට තරගය නොමැති තැන ඒකාධිකාරය විසින් මිල ඉහළ නැංවීමේ නියත වන්දිය අහිංසක පාරිභෝගික ජනතාවට දරන්නට සිදුවීමය. එසේම 100%ක ආරක්ෂණවාදයක් දියත්කිරීම තුළ බිහිවන දේශීය, ඒකාධිකාර හෝ කතිපයාධිකාරයට (කිහිපදෙනෙකු විසින් වෙළඳපොල පාලනය කිරීම ) හැර අදාළ කර්මාන්තයේ නිරතවන  අනෙක් කිසිඳු පාර්ශවයකට නිදහස් වෙළඳපොල අවස්ථාව අහිමිවේ. එයින් කියවෙන්නේ තවදුරටත් එකී කර්මාන්තය තුළ රැඳීමෙන් තේරුමක් නැති බවය. ඒ අනුව වෙළඳ ඒකාධිකාරයක් නැතිනම් කතිපයාධිකාරයක් නිර්මාණයවීම තුළ ඒ ආශ්‍රිත අනෙක් කර්මාන්තකරුවන් පමණක් නොව ඒවායේ සේවය කළ පිරිස්, වක්‍රාකාර යැපෙන්නන් රැසකගේ ආදායම් අහිමිවීම අනිවාර්යය.
 
ගෝලීය වසංගත තත්ත්වයක් සහ දැඩි ආර්ථික අවපාතයක් පවතින ශ්‍රී ලංකාව තුල ඇතිවන මේ තත්ත්වය එක් කර්මාන්තකරුවෙකුට හෝ දෙදෙනෙකුට වාසි සහගත වුවත් සාතිශය බහුතරයකට මාරාන්තිකය.
 
මේ කියන්න යන්නේද එවැනි අවනඩුවක් ගැනය.
 
සෙරමික් භාණ්ඩ, බිම් උළු,නාන කාමර කට්ටල( floor tiles  and wall tiles ) සඳහා වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ආනයනය තහනම් කර ඇත.  ඊට පෙර මේ ආශ්‍රිත වෙළඳපොල පැවතියේ දේශීය සහ  විදෙශිය අමුද්‍රව්‍ය යොදා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සෙරමික් භාණ්ඩ සහ විදේශීයව නිෂ්පාදනය කරන ලද නිමි භාණ්ඩ ආනයන වශයෙනි. මෙහිදී ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ විදේශ විනිමය රට තුල රඳවා ගැනීමට නම්  ඉතිරිකර ගැනීමට නම් 50%හෝ-60 % ක බදු ප්‍රතිශතයකට එකී ආනයන භාණ්ඩ යටත් කිරීම සාධාරණය. එමඟින්  එක් පසෙකින් දේශීය නිෂ්පාදන කර්මන්තකරුවාට ආරක්ෂාවක් සැපයෙන සහ රාජ්‍ය බදු ආදායම ඉහළ යාමට හේතු වන නිසාය. නමුත් සෙරමික්, නාන කාමර කට්ටල ඇතුළු tiles  මත 100% ක ආනයනය  තහනමක් ක්‍රියාත්මක කිරීමෙන් සමාගම් දෙක-තුනක වෙළඳ කතිපයාධිකාරයක් ගොඩනැගී ඇති අතර ඒ හැර ඉතිරි සියලු ආනයනකරුවන් සහ බෙදාහරින්නන් දිනෙන්දින ඉදිකිරීම් කර්මාන්තයෙන් අතුගෑවී යන තත්ත්වයක් මතුව තිබේ.
 
නමුත් දේශීය ඉදිකිරීම් සඳහා පැමිණෙන විදෙස් සමාගම් (චීන) ආයෝජන මණ්ඩල (BOI ) ගිවිසුම් හරහා පැමිණෙන බැවින් ඔවුන්ට අවශ්‍ය සෙරමික් භාණ්ඩ සහ නාන කාමර කට්ටල ආනයනයේදී බදු සහන යටතේ  විදේශීය වෙළඳපොළ තුළින් ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇත. වෙළඳපොලේ සාමාගමක, දෙකක කතිපයාධිකාරය විසින් මිල ඉහල දැමීම තුල විදේශීය සමාගම් ද  දේශීය වෙළඳපොලෙන්  මිලදී ගැනීමට  උනන්දු නොවෙයි. ඔවුන් සෘජුව විදෙස් වෙළඳපොල වෙත යොමුවෙයි. දැන් ප්‍රශ්නය ඇත්තේ දේශීයව ක්‍රියාත්මක වූ අනෙක් ආනයනකරුවන් වෙතය.
 
දැන් එතැන් සිට සෙරමික් භාණ්ඩ ඇතුළුව tile සහ නාන කාමර කට්ටල වෙළඳපොල දෙස බැලුවහොත් සිදුව ඇත්තේ කුමක්ද ?
 
පසුගිය මාස 9ක පමණ කාලයක සිට දියත්කර ඇති 100%ක ආනයන තහනම තුල වෙළඳපොල පාලනය කිරීම දේශීය සමාගම් දෙක තුනකට  පමණක් හිමිව ඇත. ආනයන නැවතිලාය. දැනට වෙළඳපොළ තුළ සෙරමික් භාණ්ඩ සහ tile හිඟයක් ද පවතී. එපමණක් නොව සෙරමික් භාණ්ඩ හිඟය පියවීම දේශීය සමාගම් කටයුතු කරනවා වෙනුවට භාණ්ඩ මිලෙහි  වැඩිවීමක් දක්නට ඇත.
 
 සෙරමික් / tile සහ නාන කාමර කට්ටල සම්බන්ධව ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පෙර එකී නිෂ්පාදන ආනයනකරුවන් බහුතරයක් විදෙස් සැපයුම්කරුවන්  වෙතින් එකී භාණ්ඩ ආනයනය කරමින්  සිටියේ ණයට ගෙන පසුව පොළී රහිතව ගෙවීමේ හෝ ණයවර ලිපි මතය. නමුත් 100% ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය හේතුවෙන් ඔවුන්ට දැන් ආනයනය කිරීමට හැකියාවක් නොමැත.  ඇතැමුන් මෙම ව්‍යාපාරයෙන් ඉවත්වෙමින් සිටියි.
 
මාස 9කට පසුවත් වෙළඳපොළේ ඇති සෙරමික් භාණ්ඩ හිඟය කියා පාන්නේ දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනය ඉහල දමා මිල පහළ දැමීමක් පේනතෙක් මානයක නැති බවය. ඒ වෙනුවට හිඟය පදනම් කරගෙන මිල ඉහළ දමා ඇත. මේ තත්ත්වය යටතේ  ඉදිරියේදී තවදුරටත් මෙම භාණ්ඩ මිල ඉහළ දැමීමත් අනිවාර්ය විය හැකිය.
 
 සෙරමික් / tile ආනයනය මුළුමනින්ම නවතා දමා ඇති නිසා ගබඩා සහ ප්‍රදර්ශනාගාර දිනපතා එකිනෙක වැසෙමින් පවතී .ඒ ආශ්‍රිතව පැවති සියලු රැකියා අවස්ථා නැත්තට නැති වෙමින් ඇත. ඒ අනුව 100,000 කට පමණ උන්හිටි තැන් පමණක් නොව එදාවේලත් කන්න නැතිවීමට නියමිතය. අවාසනාව වන්නේ රජය මොවුන් සම්බන්ධව කිසිඳු සාධනීය පියවරක් ගෙන නොමැති වීමය .
 
එපමණක් නොව  සෙරමික් / tile සහ නාන කාමර කට්ටල ආනයනය ආශ්‍රිතව මීට පෙර රජය මාසයකට රුපියල් බිලියනයක පමණ තීරුබදු ආදායමක් ලැබූ නමුත් දැන් ආනයන තහනම් නිසා ඒ බදු ආදායමත් අහිමිව ඇත. එනම් ගතවූ මාස 9ට රුපියල් බිලියන 9කට අධික බදු ආදායමක් රජය අහිමි කරගෙනය. එහෙත් සෙරමික්  භාණ්ඩ මිල ඉහල දමාගෙන දේශීය සමාගම් 2-3ක් අමතර ලාභයක් ලබමින් සිටියි.  අවසානයේ මේ සියල්ලට වන්දි ගෙවමින් සිටින්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ය.
තවද වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම තත්වය නිසා ගොඩනැගිලි ඉදිකිරීම් පිරිවැය 30% පමන ඉහල ගොස් ඇති බවයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න