ගුවන් හමුදාව ගුරු වෘත්තියට යෙදවීමේ තීරණය වහා නතර විය යුතුයි - ලංකා ගුරු සංගමය

ගුවන් හමුදාව ගුරු වෘත්තියට යෙදවීමේ තීරණය වහා නතර විය යුතුයි - ලංකා ගුරු සංගමය

මේ වන විට කැබිතිගොල්ලෑව හා වව්නියාව වැනි දුෂ්කර ප‍්‍රදේශවල පාසල්වලට ගුවන් හමුදා සාමාජිකයින් ගුරුවරු ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙය වර්තමාන රජය අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට, විවිධ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ලෙස හා කෝවිඞ් මර්දනය සඳහා දිස්ත‍්‍රික් 25 ට හමුදා නිලධාරීන් පත් කිරීමේ කි‍්‍රයාවලියේ දිගුවක් ලෙස ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මේ පිළිබද වැඩිදුරටත් කරුණු සදහන් කරයි. 

සිවිල් පුද්ගලයින්ගේ රාජකාරි සඳහා හමුදා සාමාජිකයින් පත් කිරීම තුළ රට මිලිටරිකරණයක් වීම නොවැලැක්විය හැකි බවත්, ගුරු සේවයේ නිලධාරීන් පත් කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවක් සහ බඳවා ගැනීම් පටිපාටියක් තිබියදී මේ ආකාරයෙන් හමුදා සාමාජිකයින් පත් කිරීම පිළිගත නොහැකි තත්වයක් බව පෙන්වා දෙයි.

වර්තමානයේ ගුරු සිසු අනුපාතය 20:1 ක් ලෙස පැවතියදී අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ගුරු තුලනයක් නොකිරීම තුළ දුෂ්කර ප‍්‍රදේශවල ගුරු පුරප්පාඩු ඇති වී ඇති බවත්, එසේම ගුරුවරු ස්ථාන ගත කිරීම සඳහා විධිමත් ප‍්‍රතිපත්තියක් නොමැති වීම ද දුෂ්කර ප‍්‍රදේශවල ගුරු හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

2020 ජනවාරි වන විට පත්වීම් ලබාදිය යුතු වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක ගුරුවරුන් 3772 කට වසරක් තිස්සේ පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. එසේ ගුරුවරු ලෙස පුහුණු කරන ලද පිරිසක් සිටියදී ඔවුන් අදාළ පුරප්පාඩු සඳහා පත් නොකර පවතින ගුරු පුරප්පාඩු සඳහා හමුදා සාමාජිකයින් පත් කිරීම ගැටලූකාරී තත්වයකි. එසේම වසර ගණනක් තිස්සේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල්වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලබන 80 කට ආසන්න පිරිසක් ගුරුවරු ලෙස කටයුතු කරති. මෙම පුරප්පාඩු හඳුනාගෙන එම පුරප්පාඩුවලට ස්ථිර ගුරුවරු පත් නොකිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවය මත සිදු වී ඇත.

පසුගිය වසරවල ද විද්‍යාපීඨ පත්වීම්ධාරීන් ප‍්‍රධාන පෙළේ ජාතික පාසල්වලට අතිරික්ත වන පරිදි පත්කර තිබූ අතර, දුෂ්කර ප‍්‍රදේශ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොතිබුණි. මේ තත්වය තුළ ගුරු පුහුණුව ලද පත්වීම් නොලද ගුරුවරු සිටියදී හමුදා සාමාජිකයින් ගුරුවරු ලෙස පත් කිරීම වෙනත් අරමුණකින් සිදුවන්නේ ද යන සැකයක් පවතී. දුෂ්කර ප‍්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා විධිමත් පුහුණුව ලද ගුරුවරු පත් නොකර ස්වේච්ඡුා ගුරුවරු, හමුදා සාමාජිකයින් ඇතුළු විවිධ කොටස් පත් කිරීම තුළ එම ප‍්‍රදේශවල සිසුන්ට පුහුණු ගුරුවරයෙකුගෙන් අධ්‍යාපන ලැබීමේ අයිතියද අහිමි කොට ඇත.

මේ තත්වය තුළ කැබිතිගොල්ලෑව, වව්නියාව ඇතුළු දුෂ්කර ප‍්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුවන් හමුදා සාමාජිකයින් පත් කිරීමේ තීරණය නතර කර එම පුරප්පාඩු සඳහා පුහුණු ගුරුවරු විධිමත්ව පත් කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න