ශ්‍රී ලංකාවේ පැතිර යන කොවීඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්ගෙන් අද (07) ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
එසේම කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් දැනුම්දුන් බවත් දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ අදහස් දක්වා ඇත්තේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ඉන්දීය නිල නිවසේ දී අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
කොළඹ තානාපති ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික ධුරාවලියෙන් බැහැරව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම විශේෂත්වයක් බවය.
දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවසන් හමුව ලෙස එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමත් විශේෂත්වයකි.
කොවීඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ ඇමති සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබූ බවත් කොවීඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට දීම සම්බන්ධයෙන් මේ වනවිටත් රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.
එම ප්‍රවණතාව ඉහළින්ම අගය කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ අසීරු කාල සීමාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වාදී ඇතැයිද වාර්තා වෙයි.
මෙම හමුව පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සිය ට්වීටර් ගිණුමේ ද සටහනක් තබා තිබු අතර එය පහත දැක්වෙයි.

