යුරෝපා සංගමයෙන් කෝටි 826ක ආධාරයක්

යුරෝපා සංගමයෙන් කෝටි 826ක ආධාරයක්

කාර්යක්ෂම සහ සාධාරණ අයුරින් අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමට සහාය වීම, ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන අංශ තුනේ දියුණුව සඳහා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 826 ක ආධාර මුදලක් පිරිනමා ඇත.

කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ පවා නොසැලී මෙරට සමාජ ආර්ථික සංවර්ධනයට ඉලක්කගතව සහ ප්‍රමුඛව බලපාන ලෙස හඳුනාගත් මෙම අංශයන්ට ආධාර ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් තුනට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර අත්සන් තැබීම ඉකුත්දා කොළඹදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල  සහ මෙරට යුරෝපා සංගමයේ දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි  මෙම ගිවිසුම්වලට අත්සන් තබන ලදි.

මෙහිදි අදහස් දැක්වූ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල  සඳහන් කළේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පිරිනමන සහයෝගිතාවය, දැඩි මිත්‍රශීලී සබඳතාවය සහ සහාය ලබාදීම පිළිබඳව තමා අගය කරන බවය.

මෙම ගිවිසුම් ත්‍රිත්වය හරහා ලැබෙන මුදල් අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා ආහාර සුරක්ෂිතතාවය දියුණු කිරීමටත්, උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේදීත් ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට විශාල ශක්තියක් වනු ඇති බව ද එස්.ආර්. ආටිගල මෙහිදි සඳහන් කළේය.

මෙම ආධාර වැඩසටහන් ත්‍රිත්වය ශ්‍රී ලංකාවේ ‍ඉලක්කගත ප්‍රමුඛතා අංශ තුනක් සඳහා යුරෝපා සංගමය ලබා දෙන සහයෝගයක් යනුවෙන් මෙහිදි අදහස් දක්වමින් යුරෝපා සංගම් තානාපති ඩෙනිස් ෂයිබි මහතා ප්‍රකාශ කළේය. “කොවිඩ් වසංගතයත් සමඟ පුරවැසියන්ට ඉක්මනින් කාර්යක්ෂමව හා සාධාරණ අයුරින් අධිකරණ කටයුතු සඳහා යොමු වීමේ වැදගත්කම ඉස්මතු වී තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව උදෙසා යුරෝපා සංගමය ලබා දෙන ආධාර වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් එක සේ ප්‍රතිලාභ ලබනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ නිපදවන කාබනික කෘෂි නිෂ්පාදන යුරෝපය හා වෙනත් වෙළඳපළ කරා අපනයනය කිරීමේ විශාල ඉඩකඩක් නිර්මාණය වනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව පොදු දේශගුණික අභියෝගතා ජයගැනීම උදෙසා එක්ව කටයුතු කිරීමට අදහස් කරන බව ද එය යුරෝපා සංගමයේ ප්‍රමුඛ අභිලාෂයක් බව ද තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය. මේ යටතේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩසටහන වෙන‍ුවෙන් යූරෝ මිලියන 18ක (රු.බිලියන 4.16) මුදලක් වෙන් කර තිබේ. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ වගකිව යුතු පාර්ශ්ව හා ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සැලසුම් කරන ලද මෙම ආධාර වැඩසටහන මඟින් අධිකරණ පද්ධතියේ ධාරිතාව නැංවීම හා තාක්ෂණික සහාය ‍වෙනුවෙන් අදාළ මුදල් යෙදවීමට අපේක්ෂිතය. එහි අවසාන ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, අධිකරණයේ නඩු ගොඩගැසීම අවම කිරීම සහ විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාවලිය සඳහා ප්‍රවේශ වීමට ඇති අවස්ථා වර්ධනය කිරීමය. මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ක්‍රියාවට නැංවෙනු ඇත.

ආහාර සුරක්ෂිතතාව හා තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යූරෝ මිලියන 10ක් (රු.බිලියන2.31) වැය කිරීමට අපේක්ෂිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) ආයතන මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. යහපත් කෘෂි භාවිතාවන් හා සෞඛ්‍යාරක්ෂිත භාවිතාවන් අනුගමනය කිරීම, අවදානම පදනම් කරගත් ආහාර පාලන පද්ධතියක් පවත්වා ගැනීම සහ පාරිභෝගික දැනුවත්භාවය වර්ධනය කිරීම තුළින් කෘෂිකර්මාන්තයේ තරගකාරිත්වය ශක්තිමත් කිරීම ඉලක්ක කරගනිමින් එය දියත් කෙරේ. දේශීය කාබනික වෙළඳපළ සංවර්ධනය වෙනුවෙන් ජර්මනියේ GIZ ආයතනයේ ද සහාය හිමි වේ. ඒ හරහා කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වැඩි නිෂ්පාදන ධාරිතාවක් ළඟා කර ගැනීමට මඟපෙන්වීමක් ලැබෙනු ඇත. ප්‍රධාන යුරෝපා වෙළඳපළවල් කරා ප්‍රවේශ වීමේදී අවශ්‍ය ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික කාබනික පාලන සංගමය හා අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන දායකත්වය සැපයීමට නියමිතය.

තවද, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ හරිතාගාර වායු වි‍මෝචනය අවම කිරීම සඳහා යූරෝ මිලියන 7.75 ක් (රු.බිලියන1.79) මෙමගින්වෙන් කෙරේ.

fund

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න