ගේට්ටුව වහලා විදුලිය විසන්ධිකරත් : දොස්තර පාදෙණියත් නිරෝධායනයට !

ගේට්ටුව වහලා විදුලිය විසන්ධිකරත්  : දොස්තර පාදෙණියත් නිරෝධායනයට !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වූ  වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ  ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇති බව දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත වාර්තා කරයි.

ඊට අනුව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ පිරිස් නිරෝධායන ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය. 

 මේ සම්බන්ධව අරුණ පුවත්පතේ පළවූ සම්පූර්න පුවත පහත දැක්වෙයි.  

Capture 

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය.

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ. පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත. කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇත. ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

ජයතිලක ගන්නොරුව – මහර"

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න