සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සම්බන්ධවීමේ සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද අනුදැනුම මත මෙම සාකච්ඡා සිදුවන බවත් අදාළ නව දේශපාලන පිවිසුම වෙනුවෙන් සමාජ මතයක් හැදීමට අවශ්‍ය අධ්‍යයන සාකච්ඡා ද මේ වන විට ආරම්භ වී ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව 56 පෙරළියේ පක්ෂය , 43 සේනාංකය එක්ව ගමනක් යාමට නියමිතය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ප්‍රධාන ධාරාවේ පක්ෂයට යොමු වූයේ හෙළ උරුමය පක්ෂය ට සීමා වීමෙන් අපේක්ෂිත දේශපාලන ගමන යෑමට නොහැකි බව නිවැරැදිව තක්සේරු කරමිනි.
චම්පික ප්‍රමුඛ පිරිසට දේශපාලනය සම්බන්ධව දැක්මක් තිබූ නමුත් දීප ව්‍යාප්ත පැතිරුණු සංවිධාන ජාලයක් සහ දේශපාලන බලය ගැනීමට ප්‍රමාණවත් පිරිස් ශක්තියක් තිබුණේ නැත.
ඒ අනූව චම්පික පාර්ශ්වයේ දේශපාලන ගණන් බැලීම වූයේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂයක ඉහළ තැනකට චම්පික ඔසවා තැබීමය. ඒ මෑත කාලීනව ප්‍රධාන ධාරවේ පක්ෂ තුළ දීප ව්‍යාප්ත ශක්තිමත් පක්ෂ සංවිධාන ජාලයක් සහ ජනතාව විශාල වශයෙන් සිටියත් ඒවායේ දැක්මක් ඇති නායකත්වයක අඩුව පැවතීමය.
නැත්නම් කඳ විතරක් ඇති පක්ෂයක ඔලුව බවට චම්පිකව ගෙන ඒම එම පාර්ශවයේ අදහස විය.
ඊට පොදුජන පෙරමුණ තුළ ඉඩක් තිබුණේ නැත. එක්සත් ජාතික පක්ෂයත් තිබුණේ බෙදෙන්නට ආසන්නවය. ඒ මොහොතේ රැල්ල සජිත් පාර්ශවයට බැවින් බිහි කරන නව පක්ෂයේ ඔලුව බවට චම්පික පත් කිරීම ඉලක්කය විය.
චම්පික සමගි ජන බලවේගය සමග එක් වන්නේ ඒ අනුවය. එසේ පැමිණි චම්පික පළමුව සජිත් සමග දේශපාලන වේදිකාවේ හැසිරුණේ නායක සජිත් , නියෝජ්‍ය නායක චම්පික වැනි තත්ත්වයක් පෙන්නුම් කරමිනි.
සජබ තුළ චම්පිකට බැරියර් එකක් !

නමුත් කාලය ගතවන විට සමගි ජන බලවේගය තුළ සිටි ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් වන රංජිත් මද්දුම බණ්ඩාර , තලතා අතුකෝරල , තිස්ස අත්තනායක වැනි දේශපාලනඥයින් චම්පිකගේ හැසිරීම කියවා ගන්නේ සජිත්ව බයිපාස් කිරීමේ සැලසුමක් ලෙසය.
එම තත්ත්වය මේ වන විට කොතරම් දුරදිග ගොස් ඇත්දැයි කියනවානම් සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ චම්පික මන්ත්‍රීවරයා අතර ගනුදෙනුවක් නැත. එසේම කොළඹ දේශපාලනය නියෝජනය කරන හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරුන් ද චම්පික පක්ෂයේ දෙවැනියා වෙනවට එකගත්වයක් දක්වා නැත.
සජිත් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ ඒ ඉව නිසා සමගි ජන බලවේගය තුළ චම්පික ගේ ගමන සීමා කිරීමට කටයුතු යෙදවිණ. එහෙත් ඒ වන විටත් සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ හරීන් ප්‍රනාන්දු , SM මරික්කාර්, කබීර් හෂීම් වැනි මන්ත්‍රීවරුන් චම්පික කෙරෙහි ආකර්ෂණයෙන් කටයුතු කරනු පෙනෙන්නට ලැබිණ.
ඔවුන්ගේ යෝජනාව වූයේ සජිත් පක්ෂ නායකයා කොට දෙවන තැන චම්පික මන්ත්‍රීවරයාට ලබාදීමය. නමුත් පක්ෂයේ සිටි ජේෂ්ඨයන් එකඟ නොවූ අතර පසුගියදා සකස් කරනු ලැබුණු සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාව තුළ චම්පික මන්ත්‍රීවරයා සඳහා යෝජනා වී ඇත්තේ ජේෂ්ඨ උප සභාපති ධූර හයෙන් එකක් සඳහා ය.
එම තත්ත්වය චම්පික පාර්ශ්වයෙ නොසතුටට හේතුවී ඇති අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සමගි ජනබලවේගය පක්ෂය තුළ චම්පික මන්ත්‍රීවරයා වෙත අපේක්ෂා කළ ආකාරයේ ඉහළ වගකීම් පැවරෙන තනතුරක් නොලැබෙන්නේ නම් තීන්දුවක් ගතයුතු බව චම්පික පාර්ශ්වයේ ස්ථාවරය වී ඇත. ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා ආරම්භ වෙන්නේ ඒ අනුවය

