වරායේ අවුල අගමැති විසඳයි : ඒත් ලිඛිතව නෑ !

වරායේ අවුල අගමැති විසඳයි : ඒත් ලිඛිතව නෑ !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත්, එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ , විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එකී කරුණුවලට අදාළ සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අද (01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව මෙම තීන්දුවට එකඟ වී ඇති අතර අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද හෙට සිට අත්හිටුවීමට එකඟ වී ඇත.

කෙසේ වෙතත් වෘත්තිය සමිති නායකයින් එම සාකච්ඡාවේදී නැගෙනහිර ජැටිය අන්සතු නොකර බවට වන ලිඛිත ලියැවිල්ලක් ඉල්ලා සිටි නමුත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, සිය වසර 50ක දේශපාලන ඉතිහාසය තුළ වෘත්තිය සමිති ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ සංඛ්‍යාවක් විසඳා ඇති නමුත් කිසි දිනක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, තමන් යමක් ප්‍රකාශ කළ හොත් එය ඒ අයුරින් ම ඉටු කරන බවටයි.

තවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් පවත්වන රැස්වීම්වලදී ගනු ලබන තීරණ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව අග්‍රාමාත්‍යවරයා පැවසූ බවයි.

අමාත්‍ය රෝහිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ , වරාය හා නාවුක අමාත්‍යංශයේ ලේකම්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු, වරාය අධිකාරීයේ සභාපති ජෙනරල් දයා රත්නායක ඇතුළු වරාය වෘත්තිය සමිති 23ක් නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න