ජැටිය බේරගන්න ගිය ජාතිකවාදී ඇමතිලාට කැබිනට් එකේදී දෝස්මුරයක් !

ජැටිය බේරගන්න ගිය ජාතිකවාදී ඇමතිලාට කැබිනට් එකේදී දෝස්මුරයක් !

කොළඹ වරායේ නැගෙනහිර  ජැටිය ඉන්දියාවට පැවරීම වෙනුවට එහි 100% ක කටයුතු වරාය අධිකාරිය හරහා කිරීමට අද (01) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී තීන්දුවූ නමුත් එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ද  ඇතිවූ බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මෙසේ උණුසුම් තත්ත්වයක් මතුව ඇත්තේ වරාය ප්‍රශ්නයේදී  ආණ්ඩුවේ සමහරු ඇතුළේ කතා කරන්න ඕන දේවල් එළියේ කතා කළා කියමින් අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ විසින් දැඩි විවේචනයක් එල්ල කිරීමත් සමඟය.

ඔවුන් මෙසේ දැඩිව විවේචනය කර ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහිව අදහස් දක්වමින් ක්‍රියාත්මක වූ අමාත්‍යවරුන් ඉලක්ක කරමින්ය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ සිටින ජාතිකවාදී මතවාදය නියෝජනය කරන පාර්ශව ඉලක්ක කර දැඩි විවේචනයක් සිදුකර ඇති අතර  අප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම විවේචන පූර්ව සූදානමකින් පැමිණ සිදුකරනු ලැබුවක් බව පෙනීගොස් ඇත. 

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට කැබිනට් මණ්ඩල හමුවකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එතරම් දැඩිව තවත් ආණ්ඩුවේම කණ්ඩායමක් විවේචනය කිරීමට එක්ව ඇත්තේ පළමු වතාවටය.

ජනාධිපතිටත් ප්‍රශ්නයක් වුණා - රෝහිත, ජොනී , ප්‍රසන්න , නාමල් විමල්ලාගේ ඇඟට පනී !

එහිදී එම පාර්ශවය විවේචනය ගෙනවිත් ඇත්තේ  "ප්‍රශ්න තිබිණා නම් ඇතුලේ කතාකරන්න ඕන. එළියේ කතා කරලා පේනවනේ වෙලා තියන දේ.. අනික මේ දේවල් කැබිනට් එකේ හරි කතා කරලා බේරගන්න තිබුණා, අන්තිමට ජනාධිපතිටත් ප්‍රශ්න... ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයටත් හානි වුනා,මේවා අනුමත කරන්න බෑ "  කියමිනි.

රෝහිත, ජොන්ස්ටන්, ප්‍රසන්න, නාමල් යන අමාත්‍යවරුන්ගේ මේ විවේචනයට පිළිතුරු දී ඇත්තේ අමාත්‍ය විමල් වීරවංශ වන අතර ඔහු පවසා ඇත්තේ, කැබිනට් එකේ කතා කරන්න ඕන දේ කැබිනට් එකේ කතා කරන බවත්, ඒ වගේම ආණ්ඩුවේ පක්ෂ නියෝජනය කරන නායකයන්ට , ඇමතිවරුන්ට කිසියම් විෂයක් සම්බන්ධව කතා කිරීමේ නිදහස තිබෙන බවය. එසේම කතා කිරීමේ නිදහස ද ඔවුන්ට ඇති බවත් පවසා ඇති විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ, "ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් ආවා නම් ආරක්ෂා කරනවා. ඒකෙ දෙකක් නෑ, හැබැයි ඒක කරන්න ඕන රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මදුරුවාට කඩුවෙන් ගහන ක්‍රමයට නෙවෙයි" කියාය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග දැඩි බැසිල්වාදීන් වන අතර නාමල් සහ ජොන්ස්ටන් මහින්දවාදීන් ලෙස එකට එකතුව ජාතික මතවාදයේ සිටි අමාත්‍යවරුන් විවේචනය කළත් නාමල් අමාත්‍යවරයා පවා එළියේ පෙනී සිටියේ ඉන්දීය විරෝධයක් පෙන්වමින් බවය. මේ ආකාරයට දෙපාර්ශවය අදහස් හුවමාරු කරගන්නා විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට මැදිහත්ව රාජ්‍ය නායකයා ලෙස තමන් මුහුණදී සිටින තත්ත්වය පැහැදිළි කරන්නට ගෙන ඇත.

මලික් අත්සන් කරපු ගිවිසුම් 17ක් ?

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්දියාව සමඟ ප්‍රශ්නය රාජතාන්ත්‍රික ගැටුමක් ඇති නොවන ආකාරයට විසඳාගත යුතුව තිබෙන බවය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මලික් සමරවීර අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරිය වූ සුෂ්මා ස්වරාජ් සමඟ ගිවිසුම් 17ක් පමණ අත්සන් තබා ඇති බවත් ජනාධිපති ගෝඨාභය එහිදී අනාවරණය කර ඇත.

එම ගිවිසුම් ගණනාවක් මේ වන විට තම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බවත් විශේෂයෙන් මත්තල ගුවන්තොටුපළ, සාම්පූර් බලාගාරය සහ ගෑස් ටැංකි වැනි කිහිපයක් ඒ අතර වන බවත් ජනාධිපති පවසා ඇත.

මෙම දිගින් දිගටම සිදුකළ ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් ඉන්දියාව අවුලෙන් සිටින බවත් එබැවින් ප්‍රශ්න විසඳාගත යුතුව ඇත්තේ රාජතාන්ත්‍රික අර්බුදයක් නොඑන ලෙස බවත් පවසා ඇත. 

සෞභාග්‍යයේ දැක්ම අනුව බටහිර ජැටියක් ඉන්දියාවට !

ඒ අනුව අද වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කල කැබිනට් සන්දේශයේ තීරණය වී ඇත්තේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය සතුව තබාගෙන බටහිර ජැටිය ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති  ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ඉන්දියාවට ලබාදීමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න