Language Switcher

V2025

"වසරකට විදුලි ජනනයට වැයවන පොසිල ඉන්ධන වියදමෙන් වසරක විශ්‍රාම වැටුප් ගෙවිය හැකියි " - අමාත්‍ය ඩලස්

වසරකට විදුලි ජනනයට වැයවන පොසිල ඉන්ධන වියදමෙන් වසරක විශ්‍රාම වැටුප් ගෙවිය හැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතරදි පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (01) පෙරවරුවේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු මාතර ශාඛාවේ පැවති විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙසේද පැවසීය. 

"විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ විදුලිබල අමාත්‍යාංශය අතර විශේෂිත වූ සමානකමක් තිබෙනවා. ඒ තමයි විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වෙන්කරන මුදල සහ විදුලිය ජනනය සදහාවන පොසිල ඉන්ධන වෙනුවෙන් වැය කරන මුදල අතර සමිප සබදතාවක් පැවතීම. එතුළින්ම අපට පැහැදිළි වෙනවා විදුලිබල ක්ෂේත්‍රය මුහුණදී තිබෙන තත්ත්වය. මේ රටේ ආර්ථිකයට පොසිල ඉන්ධන විශාල බරක්. මෙය බිලියන 300 කට අධික මුදලක්. අතිගරු ජනාධිපතිතුමන් සිය සෞභාග්‍යයේ දැක්ම යටතේ පලමු මැතිවරණ ප්‍රකාශය හැටියට ඉදිරිපත් කළේ, පොසිල ඉන්ධන වෙනුවට ස්වභාවික බලශක්තිය ආදේශ කළයුතුයි යන්නයි. අමාත්‍යාංශයක් වශයෙන් මේ වනවිට අපගේ සූර්ණ කැපකිරීම වි තිබෙන්නේ, වසර 2025 වනවිට මේ අගය 5% ක් දක්වා අවම කරගෙන, වසර 2030 වනවිට මේ පොසිල ඉන්ධන මත වැයකරන නාස්තිකාර මුදල සහමුලින් නැවැත්වීමටයි. එය රටක්, ජාතියක් වශයෙන් අප ලබන ජයග්‍රහණයක් වේවි. ඒ වෙනුවෙන් වන එක් පියවරක් වශයෙන් පියසි මත සූර්ය පැනල සවිකිරීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදී, ඒ සම්බන්ධයෙන් නැවත නැවත ජනතාව දිරිගැන්වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට මගේ විශේෂ ප්‍රණාමය පුදකර සිටිනවා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  අවධාරණය කරයි.

 විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරගනිමින්, සිය බැංකු පද්ධතිය හා අනුගත වී සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු කටයුතු පහසු කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණය හදුන්වාදීමත්, නිවාස පියසි සූර්ය බලාගාර බවට අනුවර්ථනය කිරීම වෙනුවෙන් මේ වනවිට දියත් කර ඇති විශේෂිත ණය යෝජනා ක්‍රමය පිළිබද තවදුරටත් ඔවුන් දිරිමත් කරමින් පොලඹවාලීමේ කාර්යය වෙනුවෙනුත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මාතර ශාඛාව විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය අලහප්පෙරුම,

"ජ්‍යෙෂ්ඨත්වයට පිදෙන උපහාරයක් ලෙසින් නව තාක්ෂණය මුසු කිරීමක් ලෙස අපට මෙම අවස්ථාව හදුන්වන්න පුළුවන්. තාක්ෂණික වටිනාකමට වඩා සංස්කෘතික, සමාජ, ආර්ථිකමය මෙන්ම දේශපාලනමය වටිනාකමක් මේ තුළ තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමයට අමතරව, ග්‍රාමීය සංවර්ධන බැංකු පද්ධතිය විසින් සූර්යබල විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් තවත් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර එය දිරිගැන්වීමට පෙළඹීම වැදගත් සමාජ සත්කාර්යයක්. කාලීන සමාජ අවශ්‍යතාවක් වශයෙන් වටහාගනිමින්, මෙම කාලින අවශ්‍යතාවය ඉටුකිරිම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට මගේ ස්තුතිය පුදකරනවා" යැයි පැවසිය.

මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජගත් අතාවුද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති, සාමාන්‍යාධිකාරි, ඇතුළු මාතර දිස්ත්‍රික් මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.