Language Switcher

V2025

මම මගේ ක්‍රමයට වැඩ කරනවා - ජනපති

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අවධාරණය කරයි.

ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකට ආසන්න කාලයක් තිබේ. ගමට යන්නේ බලයේ සිට කළයුතු මෙහෙවර ඉටුකරන්න. විපක්ෂයේදී පැමිණියත්, ජනතා ගැටළු විසඳමින් දුෂ්කර ගම්මාන වෙත ගිය වෙනත් ජනාධිපතිවරයෙකු නැත. කොළඹ සිටිමින් නිලධාරීන්ගෙන් පමණක් විමසා ජනතා ගැටළු හදුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි. කවරකු මේ ක්‍රමය විවේචනය කළ ද “ මම මගේ ක්‍රමයට වැඩ කරනවා” යැයි ජනාධිපතිවරයා කියා සිටී.

“ජනතාව අතරට ගොස් වැඩකරලයි මම ජනාධිපති වුණේ. වැඩ කිරීමෙන් පමණයි ජනතා නායකයෙක් විය හැක්කේ” එබැවින් ජනතාව අතරට ගොස් වැඩ කරන ලෙස ජනාධිපතිතුමා තරුණ මහජන නියෝජිතයින්ට උපදෙස් දී ඇත.

(06) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරී වසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” නව වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට දීමට තීරණය කෙරිණ. එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතයට හානිවන අයුරින් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපතිතුමා පවසයි. ස්වභාවධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියට පාවිච්චි කළ යුතුය. ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රැකිය නොහැකි බවත්, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනාධිපතිතුමා පැවසීය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව කලුතර සහ මොණරාගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි.

දැරණියගල නගරයේ සිට කිලෝමීටර් 23ක් පමණ දුරින් පිහිටි දික්ඇල්ලකන්ද ග්‍රාමය ශ්‍රිපාද රක්ෂිතයට මායිම්ව පිහිටා තිබේ. අස්ගල, පල්ලහේන, නාමල්වත්ත සහ ඌරවනාව, දික්ඇල්ලකන්ද ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 208ක් වෙසෙන මේ ගම්මානවල ජනගහනය 718කි. මාලිබොඩ, පොත්දෙනිය සහ මාගල යන ගම්මාන දික්ඇල්ලකන්ද වටා පිහිටි අනෙක් ගම්මාන වේ.

අතිශය සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මේ ගම්මානවල ජනතාවගෙන් බොහෝ දෙනෙක් තේ වගාව හෝ ඒ ආශ්‍රිත රැකියාවක නිරතව සිටිති. කරාබුනැටි, එනසාල්, ගම්මිරිස් සෙසු වැවිලි බෝග වේ. කිතුල් කර්මාන්තයේ නිරත පවුල් සංඛ්‍යාව 25කි.

මාර්ග සහ පාලම් පද්ධතිය සංවර්ධනය නොවීම සහ පොදු ප්‍රවාහන සේවා දුර්වලවීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

රැස්ව සිටි ජනතාව තමන් මුහුණ පා සිටින විවිධ ගැටළු ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ. මාර්ග දුෂ්කරතා පිළිබඳව කළ පැමිණිවලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා පොත්දෙනිකන්ද සිට දික්වැල්ලකන්ද දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට (08) සිටම ආරම්භ කර කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාලිබොඩ සිට ශ්‍රීපාද මාර්ගයේ පන්දෙනිය දක්වා, දැරණියගල සිට නූරිය උඩමාලිබොඩ සිට දික්ඇල්ලකන්ද සහ මාලිබොඩ සිට ඌරවනාව අඹගහකන්ද දක්වා කොටස් ඇතුළු ප්‍රදේශයේ මාර්ග රැසක් කඩිනම් සංවර්ධනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිවයින පුරා ග්‍රාමීය වතු ආශ්‍රිතව ඇති කුඩා ප්‍රවේශ මාර්ග, අතුරු මාර්ග හා සම්බන්ධ වන අයුරින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ප්‍රදේශයේ ඇති සියලු පාලම් පිළිබඳ විධිමත් අධීක්ෂණයක් කර සංවර්ධනය කිරීමට ද තීරණය විය. සංවර්ධන ක්‍රියාවලියේ දී කොන්ත්‍රාත්කරුවන් අසාර්ථක වන්නේනම් ඔවුන් අසාදු ලේඛනගත කර ඒ සඳහා සුදුසු ආයතන වෙත පරවන ලෙස ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

මින් පසු සියලු ඉදිකිරීම් මහජන නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වේගවත් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පානීය ජල හිඟයට පිළියම් ලෙස පොල්ගස්වත්ත, බස්නාගල - හොරගහහින්න ජල ව්‍යාපෘති කඩිනම් කිරීමටත්, දිස්ත්‍රික්කයේ ඇති ජල මූලාශ්‍ර හඳුනාගෙන පානීය ජල අවශ්‍යතා සැපයීම කෙරෙහිත් විශේෂ අවධානය යොමු විය.

මාලිබොඩ නගරය විධිමත් අයුරින් සංවර්ධනය කරන ලෙස නාගරික සංවර්ධන අමාත්‍යාංශයටත්, නව නිවාස යෝජනා ක්‍රමයක් කඩිනමින් ඇරඹීමට වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයටත් උපදෙස් දුන්නේය.

දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ලබාදීම විද්‍යාගාර පහසුකම් සහ ක්‍රිඩාපිටිය සංවර්ධනයට ද තීරණය කෙරිණ. ගුරුවරුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ත්‍රිරෝධ රථයක් පරිත්‍යාග කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

පොත්දෙනිකන්ද විද්‍යාලයේ ක්‍රිඩාපිටිය සංවර්ධනය හෙට සිටම ඇරඹේ. ක්‍රීඩා සහ තූර්ය වාදන භාණ්ඩ නොමැති සියලු පාසල්වලට ඒවා ලබා දෙන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දුන්නේය. සියලු පාසල්වල ඇති පරිගණක අවශ්‍යතා සොයා බලා සම්පූර්ණ කරන ලෙස ද රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ගුරු හිඟය නැති කිරීමට සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය. දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ඉංග්‍රීසි, ගණිත, විද්‍යා සහ තොරතුරු තාක්ෂණ ගුරු පුරප්පාඩු සඳහා අ.පො.ස උසස් පෙළ සමතුන්ට අවස්ථාව දීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රෝහල්වල පවතින වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩල පුරප්පාඩු පියවීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් තීරණය කෙරිණ. ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් පැවති ගැටළු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

SLTමොබිටෙල් ආයතනය දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලය, මාලිබොඩ දෙමළ විද්‍යාලය, උඩුමාලිබොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාල සඳහා පරිත්‍යාග කළ පරිගණක සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමු රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, සුදත් මංජුල, සාරතී දුෂ්මන්ත, රාජිකා වික්‍රමසිංහ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.