Language Switcher

V2025

විමල්ලා දොට්ට දාන්න - 2024 ට බැසිල්ව දැන්ම නම් කරන්න : මහින්දට බලපෑම් පිට බලපෑම් !

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට 2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බැසිල් රාජපක්ෂ නම් කිරීමේ සූදානමක් පවතී.

මේ බව නිශ්චිතව තහවුරු වන්නේ විමල් - බැසිල් ගැටුම පදනම් කරගෙන බැසිල් රාජපක්ෂගේ හිතෛෂින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ දක්වා ඇති කරුණු අනූවය.

ඒ අනුව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විමල් - බැසිල් ගැටුම,  බැසිල් රාජපක්ෂ 2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම්කර ගැනීමේ තැතක් දක්වා ගෙන යාමට පොදුජන පෙරමුණේ බැසිල්වාදීන් කටයුතු කරමින් සිටින බවය.

ගෝඨා "ස" එන්නේ නෑ : ඒ නිසා 2024 ජනාධිපති අපේක්ෂකයා විදියට බැසිල් "ස" නම් කරමු : මහින්දට යෝජනාවක් !

ඒ සම්බන්ධව ලැබී ඇති තොරතුරු අනූව ඊයේ (08) ආණ්ඩුවේ සිටින දැඩි බැසිල්වාදීන් ලෙස ප්‍රකට  පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු  මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඇත.

එහිදී ඔවුන් පවසා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතිකවාදී පාර්ශව හැසිරෙන ආකාරය අනූව ආණ්ඩුවේ ඉදිරි ගමන් මග අර්බුදයට ගමන් කරමින් ඇති බවය. 

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට දැනගන්නට ඇති බැවින් පොදුජන පෙරමුණේ ඊළඟ 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්ම නම්කර ඉදිරි කටයුතු සූදානම් කළහොත් එතැන් සිට පැහැදිලි මගක ආණ්ඩුව මෙහෙයවීමට හැකියාව ලැබෙන බවත් ඔවුන් පවසා ඇත. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඒ කරුණු අසාසිටි නමුත් කිසිදු පොරොන්දුවක් හෝ වචනයක් දී නොමැත.  

ගෲප් මීටිමේ ගේම දෙන බව ප්‍රසන්නලා  මහින්දට වේලාසනින් දන්වලා !

තවද එදිනම (පෙබරවාරි 08) ආණ්ඩුවේ සිටින තවත් බැසිලවාදී අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් ද  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව තම පිරිස් දැඩි විරෝධයක පසුවෙන බවය. 

එසේම ඒ වෙනුවෙන් හෙට (පෙබරවාරි   09 වනදා ) පැවැත්වෙන පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී විරෝධය දක්වන බවය. තවද පොදුජන පෙරමුණ ගොඩනැගූ බැසිල් රාජපක්ෂ සම්බන්ධව විමල් වැන්නෙකු සිදුකරන ප්‍රකාශ තවදුරටත් ඉවසිය නොහැකි බවත් එබැවින් විමල් වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත්කර දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ දායකත්වය තම පාර්ශ්වය අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහන් කර ඇත.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයා සූක්ෂම ලෙස ආණ්ඩුව අර්බුදයට ගමන් කරවීමට කටයුතු කරමින් සිටින බවය. 

මේ වන විට මාධ්‍ය අනාවරණය කර ඇත්තේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව එකම ගාලගෝට්ටියක් වූ බවය.  එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධව දැඩි දෝෂාරෝපණ එල්ලවූ බවත්, "විමල් නැති නිසා අපි එයා ගැන කතා නොකර , ඉන්න තැනක මේ ගැන කතා කරමු" කියූ නිසා අමාත්‍ය වාසුදේව නානායක්කාර තවත් අමාත්‍යවරයකු වෙතින් පරුෂ වදනින් ගර්හාවට ලක්වූ බවත් වාර්තා වෙයි.

ඒ අනූව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අද(09) ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ඇතිවූ ගාලගෝට්ටිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (08) දැනසිටි නමුත් එම තත්ත්වය පාලනය කිරීමට හෝ වැළැක්වීමට ක්‍රියාමාර්ග නොගැණුනු බවය.

2024 ට එන්නේ බැසිල් - විමලාව එළවමු : ඇමතිලා හමුවේ ප්‍රසන්නලා කියලා !

වැඩිදුරටත්  වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් පසුව බැසිල්වාදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ද  හමුව තිබේ.

එහිදී මේ පිරිස ඔවුන් වෙත පවසා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩු විරෝධයක් කුලප්පු කිරීමට කටයුතු කරන බවත් ඊට එරෙහිව වහාම සූදානම් විය යුතු බවත් ය.

එසේ නැතිනම් විවේචන සඳහා ප්‍රතිචාර නොදක්වා චෝදනා පිළිගත් බවක් ජනතාව වෙත හැඟීයාමට ඉඩ ඇති බවත් එය  ආණ්ඩුවේ ඉදිරි ගමනට හිතකර නොවන බවත් අමාත්‍යවරුන් වෙත ඔවුන් පෙන්වාදී ඇත.

තවද 2024 ජනාධිපතිවරණය  සඳහා අපේක්ෂකත්වය බැසිල් රාජපක්ෂ වෙත ලැබෙන බවත් ඒ වෙනවෙන් ඊට බාධා වන විමල් වීරවංශ වැනි පාර්ශව දැන් සිට  එළවා දමා සූදානම් විය යුතු බවත් පවසා ඇතැයිද වාර්තා වෙයි.