Language Switcher

V2025

මේ ආර්ථික පෙරළිය බැසිල්ගේ - මහින්ද

"මහින්ද රාජපක්ෂගේ නායකත්වය තුළ ගෝඨාභය යුද පෙරමුණ ද බැසිල් රාජපක්ෂ ආර්ථික පෙරමුණ ද එකවර මෙහෙයවමින් මෙරට සිදුකළ සමාජ ආර්ථික පරිවර්තනය 1505න් පසු අන් කවරදාකවත් සිදුව නැත." යනුවෙන් පුවත්පත් මණ්ඩලයේ  සභාපති මහින්ද පතිරණ පවසයි.
 
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරන අතර හේ ආණ්ඩුවේ තනතුරට අමතරව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකුද වෙයි.
 
ඔහු තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
 
ලංකාවේ ජාතිකත්වය හෝ දේශීයත්වය පිළිබඳ යම් හැඟීමක් අද කිසිවෙකුට තිබෙනනම් ඒ හැඟීම ප්රායෝගික යථාර්ථයක් බවට පත් කළේ රාජපක්ෂලා විසින්ය. රාජපක්ෂලාට පෙර ජාතිකත්වය යනු වැඩකට ගනු නොහැකිව දුමේ දමා තිබූ භාණ්ඩයක් පමණි. රාජපක්ෂලා එය දුමෙන් ගෙන අලු දූලි දැලි පිස ඔපමට්ටම් කර ප්රායෝගික උපයෝගිතා භාණ්ඩයක් බවට පත් කළේ ය.
 
රාජපක්ෂලාට එසේ කළ හැකි වුනේ ඔවුන් කතාකාරයින් නොව, වැඩකරුවන් නිසාය. ඔවුන් කිසිදා ජාතිකත්වය දේශනා නොකරන්නේ ය. එහෙත් ජාතිකත්වය කරන්නේ ය. රාජපක්ෂලා පිළිබඳ සාර්ථකකත්වයේ රහස මෙයයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වය තුළ ගෝඨාභය යුද පෙරමුණ ද බැසිල් රාජපක්ෂ ආර්ථික පෙරමුණ ද එකවර මෙහෙයවමින් මෙරට සිදුකළ සමාජ ආර්ථික පරිවර්තනය 1505න් පසු අන් කවරදාකවත් සිදුව නැත. රාජපක්ෂලා විසින් ජාතිකත්වය ප්රායෝගික ව ක්රියාවට නොනන්වන්නට අද එය ආගිය අතක් නැති මතවාදයක් වී බොහෝ කල්ය.
 
රාජපක්ෂලාගේ වැඩ සංස්කෘතිකය අභිබවා යන්නට සමත් කිසිවෙකු මෙරට තුළ අද වනතුරු නැත. ඔවුන්ගේ දේශපාලනය අභිබවා යන්නට ද සමත් කිසිවෙකු නැත. ඊට ප්රධාන හේතුව නම්, රාජපක්ෂලා කිසිවෙකු මත තම සාර්ථකත්වය පිහිටුවා නොතිබීමයි. ඔවුන් විස්වාස කරන්නේ වැඩ ගැන මිස කයිවාරු ගැන නොවේ. මන්ද වැඩවලට මිස කයිවාරුවලට ආයුෂ නැති නිසාය.
 
රාජපක්ෂලා තනිව තම සාර්ථකත්වය නිර්මාණය කරගත්ත ද එම සාර්ථකත්වය මත ඔරු පදිමින් එහි සතුටු වන තවත් පිරිසක් සිටිති. රාජපක්ෂලා එය දන්නෝය. එහෙත් ඔවුන්ගේ සතුට නැති කිරීමට ඔවුහු ක්රියා නොකරති. ඒ රාජපක්ෂලා කුහකයින් නොවන නිසාය. රාජපක්ෂලා සමග සිටින තාක්කල් ඔවුහු බැබලෙති. එහෙත් ඉන් ඉවත් වූ සැණින් ඔවුන් ආගිය අතක් හෝ සොයා ගැනීමට නොහැකි අවලංගු කාසි බවට පෙරළෙති. තිත්ත වුනත් ඇත්ත එයයි.
 
77 ගැන සඳහනක් නෑ !
 
මේ සම්බන්ධව අප කළ අදහස් විමසීමකදී විචාරකයකු සඳහන් කර සිටියේ 77 විවෘත ආර්ථිකය හඳුන්වාදීම අමතක කිරීම මෙහිදී නොතකා ඇති නමුත් එය මහින්ද පතිරණ නියෝජනය කරන කඳවුර අනුව සාධාරණ බවය. මෙතෙක් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියේ  නියෝජිතයා ලෙස හන තබා තිබුණේ එජාපය නමුත් දැන් එම තත්ත්වය බැසිල් වෙත හැරවී ඇති බවය.
 
එසේම මේ  වන විට ලංකාව දැඩි විදෙස් සංචිත අර්බුදයකට ලක්ව ඇති අතර ණය ගෙවීමේ අර්බුදයක්ද මතුව ඇතැයි ඔහු පැවසීය. ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් කෙටි කාලීන ණය ගැනීම සහ සල්ලි අච්චු ගැසීම ආණ්ඩුව ප්‍රධාන විසඳුම ලෙස කරගෙන යන නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති බවත් පවසන එම විචාරකයා මේ ආර්ථික තත්ත්වය යහපත් කිරීමට ආණ්ඩුව කඩිනමින් ක්‍රියා නොකළහොත් දැනට ගනිමින් සිටින විදෙස් ණය පවා ගැනීමට ඉදිරියේ දී දුෂ්කර වනු ඇති බවත් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන දර්ශක වල මේ වන විට ලංකාව පහතටම දමා ඇති බවත් සිහිපත්කර සිටියේය.