Language Switcher

V2025

එහෙව් අපට අද එන්ඩ තහංචිද : ජය සිරි මා හාමුදුරුවනේ..!

ශ්‍රී ලංකාවේ පළමු කාන්තා DIG වුණු බිම්ෂානි ජාසිංආරච්චිගේට එරෙහිව පිරිමි SSPලා රොත්තක් නඩුවක් දාලා. ඒ ගෑණියෙක් නිසා. එතකොට නඩුව දාපු අයගේ අම්මලා කියන්නෙත් ගෑණු. මේ කතාවත් එක්ක, එදා වගේම සමහර නූතන තරුණ අම්මලා ගැන මට නැගෙන ප්‍රශ්නයක් තියෙනවා. 
 
ඔවුන් තමන්ට පුතෙක් ලැබීම ගැන පුදුමාකාර පුරාජේරු කියවනවා. ලියනවා. "මවකට පුතෙක් කියන්නේ රාජ්‍යයක්", "පවුලට රජෙක් ලැබුණා", "අපේ ලෝකෙට ඉර ගෙනත් දෙන දෙවියෝ ඔයා", "අපි පැතූ විදියටම ඇත් රජෙක් අපට ලැබුණා" ආදී ලෙස තරුණ අම්මලා අමුතුම වන්නම් ලියන්නේ පුදුම ආඩම්බරයකින්. හරියට ගැහැණු ළමයි හබ්බ වුණු අම්මලා (කාන්තාවන්) කපෝතියි වගේ. ඒකත් අනෙක් අයට උජාරුවට වගේ. හැබැයි එයාලට අමතකයි එයා ගෑණියෙක් කියලා. 
 
එයාලගේ අම්මලා එයා දුවෙක් නිසා එදා නොසලකා සිටියද? එකී මවුන්ට මෙයාලා ගැන ආඩම්බරයක් තිබිලම නැද්ද? කන්න බොන්න දුන්නේ, හදාවඩා ගත්තේ සහෝදරයන්ට මෙන් නොවේද? ඒ අරුතින් ගත්තොත් කාන්තාවක් වෙලත් ඔවුන් මේ කරන්නේ තම මවටත් අකෘතඥ වීමක්. 
 
ජීව විද්‍යාත්මක මෙන්ම සමාජ, ආගමික, සංස්කෘතික පරිසරය අනුව මවක් පිරිමි දරුවෙකු පතනවා විය හැකියි. එහෙත් ලෝකයේ බොහෝ රටවල මේ වන විට එවැනි තත්ත්වයන් වෙනස්කම්වලට ලක්ව තිබෙනවා.
 
එහෙම වෙද්දි පුතුන් පතා ලංකාවේ නූතන කාන්තාවන් (ගැබිණියන්) පවා ත්‍රීකුණාමලය කෝණේෂ්වරන්, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය, කතරගම දෙවියෝ ළඟට ගිහින් භාරහාර වෙනවා.
 
"සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා
සිරිමාබෝ සාමිණි මට පිරිමි පුතෙක් නැතුවා...
කිරි ආහාර පුජාවට අලුත් සාල් පුදලා
සිරිමාබෝ සාමිණි මම පිරිමි පුතෙක් පැතුවා..."
 
රත්න ශ්‍රී විජේසිංහයන් පවා "පුතා" යන්න "පිරිමි පුතෙක්" කියලා බරකරලම මේ ලියන්නෙත්, නිරංජලා සරෝජිනී ගයන්නෙත් අපේ කතුන්ගේ පැතුම ගැන. පුරුෂෝත්තමවාදී සමාජයක පිරිමි දරුවාට ඇති සමාජ පිළිගැනීම හා ඔවුන් උසස් ලෙස සැලකීම කෙතරම් සාධාරණදැයි සිතීමට ගීත රචකයා සමාජයටම ඇරයුමක් කරනවා වැන්න. 
 
අපේ ස්ත්‍රීන් මෙහි මතුපිටම සිටිමින් පුරුෂයා උත්තම කොට සලකන සමාජයට තම ගැහැණුකම දෙවැනි කොට සලකා පුතුන්ම පතන බවක් අදත් අප අත්දකිනවා. 
 
"ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමාබෝ සාමිණි මට පිරිමි පුතෙක් දෙන්නයි..."
 
අද තනි මංසල යන්න බැරිවෙලා තියෙන්නේ ඔය පිරිමි පුතාලම නිසා කියලා ආඩම්බරකාර අම්මලාට මතක නෑ. තමන්ගේ පුතා එහෙම නැහැ කියලයි ඔවුන් හිතා ගෙන ඉන්නේ. ඒත් වැඩිම මිනීමැරුම්, අපරාධ, දූෂණ කරන්නේ පිරිමින්. ඒ වගේම කාන්තාවන්ට එරෙහි නඩුවල විත්තිකරුවන් මේ රජුන් යැයි කියන පිරිමි පුතාලම තමයි.
 
පුරාතන සමාජයම අදත් අත්විඳින ස්ත්‍රීන් සිතන්නේ තම සකල දිවියම පිරිමියා මත රැඳී ඇති බවයි. එය අද ඇත්ත නොවේ. 
 
ලංකාවේ විභාගවලින් වැඩිම සමතුන් වන්නේ ගැහැණු දරුවන්. විශ්ව විද්‍යාලට වැඩියෙන් එන්නේ සිසුවියන්. පරිපාලන සේවා විභාගයෙන් වැඩියෙන්ම සමත්ව රටේ ඉහළම තැනට එන්නේ කාන්තාවන්. එතකොට පිරිමි පුතුන් පමණක් නොව නූතන දියණිවරුන්ද "සතර දිගට පෙනෙන්න කොත් වගේ" බබලනවා. ඒත් සසර පුරුද්දට වගේ ලංකාවේ ගැහැණු (පිරිමි) පුතුන් පතනවා.
 
"ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමාබෝ සාමිණි මට පිරිමි පුතෙක් දෙන්නයි..."
 
සංසාරේ බර හෑල්ලු වෙන්න පිං කරන්න ඕන. අම්මා කෙනෙකුට "පුතෙක්" සාසනයට භාරකරලා ලොකුම පින කරගන්න පුළුවන්. ඒ නිසා රත්න ශ්‍රී විජේසිංහයන් මේක ලියන්න ඇති. (මේ කලා කෘතිත් හෙනේට හිටලා කියලයි මා නම් හිතන්නේ.)
 
ඒත් මහින්ද චන්ද්‍රසේකරයන් ලියලා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගැයුවේ සංඝාධිකාරයෙන් ස්ත්‍රීන්ට ඇති අඩත්තේටමක් ගැන. ඒක අයදීමක්.
 
ජය සිරි මා හාමුදුරුවනේ
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණිමැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ...
 
"අපිට නම් දුවෙක්ට වඩා පුතුන්මයි වටින්නේ" කියලා ආඩම්බර වෙන අම්මලා දෑන ගන්න ඕන දේ තමයි මහ මළුවට යන්න නොදෙන්නෙත් ඔය කියන "පිරිමි සංඝ පුතාලා" කියන එක. 
 
පිරිමින්ගෙන් කෙතරම් අසාධාරණ සිදුවුවත් බොහෝ ගැහැණු පිරිමි තරම්වත් තමන් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. කාන්තාවට හිමිතැන දෙන්න කියමින් 51% ක් වන කාන්තාවන්ගෙන් වැඩිම පිරිස පිරිමින්ට ඡන්දේ දෙනවා. 25% නියෝජනය ගන්න ගැහැණුන්ට වඩා සටන කළේ පිරිමි. 
 
සමාජ අයුක්තියට, අසාධාරණයට එරෙහිව මෙන්ම රාජකාරී මට්ටමේදීත් ගැහැණු අතළොස්සක් සටනක් කරනවා හැර බහුතරය එතන නැහැ. ඇතැම් කාන්තාවන් පිරිමි එක්ක එක්ව ඔවුන්ටත් මඩගහනවා. දේවානි ජයතිලක උදාහරණයක්. "බදූර්දීන් ගස් කපන කොට උවා කොහෙද මැණික හිටියේ" කියලම ඇතැම් කාන්තාවන් පෝස්ට් දාලා තිබුණා. 
 
කාන්තා නායකත්වයක් දකින්න පිරිමින්ට වඩා කාන්තාවන් අකමැතියි වගේ. බිමන්ෂා වෙනුවෙන් යන සමාජ මාධ්‍ය සාකච්ඡා වුව බලන්න. එහෙත් වර්තමාන ලෝකයේ බොහෝ සෙයින් කාන්තා නායකත්වය සාර්ථකයි. 
 
ජර්මනියේ චාන්සෙලර් Angela Merkel, නවසිලන්ත අගමැති Jacinda Ardern, යුරෝපා කොමිසමේ ප්‍රධානි Ursula von der Leyen, අමෙරිකානු උප ජනාධිපති Kamala Haris වැනි අය දෙස බල්න්න. දියුණු බොහෝ රටවල කාන්තාවන් තමන් දෙස විශ්වාසයෙන් බලනවා. ඒ වගේම අනෙක් කාන්තාවන් පිළිගන්න මැලිවෙන්නෙත් නැහැ. 
 
දියුණු රටවල රැජිණියන් පවා ඉන්නවා. අපේ රටවල වගේ ගැහැණු අය පුත්තුම පතන්නෙත් නෑ. ඒ සමාජයේ පිරිමි වගේම ගැහැණු ගැනත් ගෑහැණු එකසේ විශ්වාසය තබනවා.
 
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව යමක් වන විට කාන්තාවන් බහුතරයක්ම නිහඬයි. එසේ සිටිමින්ම  පිරිමි කුහකයි, චීත්ත කියලා වැඩියෙන් බනින්නෙත් ඔය පුතාලා ගැන ආඩම්බර කතා කියන ස්ත්‍රීන්. තමාගේ පුතා විතරක් හොඳයි කියලා හෝ හොඳ වෙයි කියලා හිතන් ඉන්න ඒ අම්මණ්ඩිලත් මේ වැඩේදි වෙනස් වෙන්න ඕන.
 
තමන්ට පුතෙක් ලැබුණම බොහෝ ස්ත්‍රීන් ඔහුට "රජෙක්" කීවත් දියණියක් ලැබුණම ඇය "රැජිණක්" කියන්නේ අඩුවෙන්. එහෙත් නෝනලා ගෙනාවට පස්සේ ඔය රත්තරන් පුතාලාම තමයි අම්මට එරෙහිව බැටේ දෙන්නේ. ඒත් දුවලා සාපේක්ෂව එහෙම නැහැ. මගේ අත්දැකීම අනුව මගේ මව ළඟ අදත් වැඩියෙන් ඉන්නේ, ඇය බලාගන්නේ මගේ නංගි. 
 
දැන් ආපහු අහන්න තියෙන්නේ පිරිමි පුතා ලංකාවේ අම්මට ඇතෙක්, නිරිඳෙක්, හරි ආඩම්බරක් කියනවා නම් හැම තැනම ඔවුන් මුල් තැන ගැනීම ගෑණුන්ට ප්‍රශ්නයක් වෙන්නෙත් කොහොමද කියන එක. 
 
පුරුෂාධිපත්‍ය බලයට ස්වකැමැත්තෙන් නතුවන, පුතුන්ම පතන සහ පුතා රකිමින් ලේලියට බැට දෙන ස්ත්‍රීන් සමාජයෙන් තමන්ට හිමි තැන නොලැබෙන බවට පුප්පනවා. වරද කරගන්නේ තමන් බව එකී ගෑණු දන්නේ නැහැ. පුතාලා ලැබීම ගැන රටක් රාජ්‍යයක් දිනුවා වගේ ආඩම්බරයකින් කතා කරන අය මෙය අවබෝධ කරගන්න ඕන.
 
පුතුන්ට ඒවගේ මහත් ආදරයක් තිබුණට කමක් නෑ. එහෙත් ඔය අනවශ්‍ය ආඩම්බරයෙන් කාන්තා පරපුරටම දිගුකාලීනව සිදුවන අවැඩ ගැන හිතන්න වෙයි. පුත්තු උඩ තිබ්බම දූලා හැමදාම බිමම තමා තියන්න වෙන්නේ.
 
අනෙක් අතට කාන්තාවන්ට සමාජයේ තියෙන ප්‍රශ්න, අභියෝග නිසාම පිරිමි පුතෙක් පතනවා නම් සහ ඒවා ජය ගැනීමට වැඩ නොකරන්නේ නම් ප්‍රශ්නය ඉවර වෙන්නෙත් නැහැ. 
 
පුරුෂෝත්තමවාදයේ තිඹිරි ගෙය තමන් පිළිසිඳ ගන්නා විටම හදාගන්න අය (පුත්‍ර පැතුම) පස්සේ හූල්ලන එකේ තේරුමකුත් නැහැ. පිරිමින්ට දෝස්මුර තබා, සාප කරමින් තම හිමිකම් ඇවිරීම ගැන නෙක නෙක යාදිනි කරනවාට වඩා කොහෙන් හෝ පටන් ගන්නයි ඕන. 
 
එකම විදියට ඉපදිලා, හැදිලා වැඩිලා, ඉගෙන ගෙන ගැහැණු දෙවිදියකට සැලකිලි ලැබිය යුතුම නැහැ.
ඒත් තමන්ගේ කොටසත් හරියට කරගන්න කාන්තාවන් දැනගන්නත් ඕන. බිම්ෂානිගෙන්ම පටන් ගන්න වුණත් අවස්ථාව තිබෙනවා..!
 
(මේ සටහන් කළේ, කාන්තාවන් තමන්ටම කරගන්න අවාසි කිහිපයක් යැයි මා සිතන කරුණු ටිකක්. පිරිමි ස්ත්‍රීන්ට කරන දේවල් ලිව්වේ නෑ කියලා තරහ ගන්න එපා. මෙහි සිටින හිතවතියන් ටිකකට මේක ටැග් කරනවා. බලමු මොකද කියන්නේ කියලා.)
 
|මහින්ද රුබසිංහ