Language Switcher

V2025

‘පාපන්දු සිකුරාදා’ වැඩසටහන හෙට සිට

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් ‘පාපන්දු සිකුරාදා’ වැඩසටහන හෙට (19) සිට කොළඹ තුරඟ තරග පිටියේදී ක්‍රියාත්මක වෙයි.

මෙම වැඩසටහන ඉදිරි සෑම සිකුරාදා දිනකම පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වේ.

ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් දියත් වන මෙම වැඩ සටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වා දෙන දෙවැනි වැඩ සටහන වේ. මෙයට පෙර ‘පාපැදි ඉරිදා’ වැඩසටහන හඳුන්වා දුන් අතර, එය අති සාර්ථකව සෑම ඉරිදාවකම ක්‍රියාත්මක වන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ  ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

‘පාපන්දු සිකුරාදා’ වැඩසටහන හඳුන්වා දෙමින් මෙම මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කොරෝනා අර්බුද හමුවේ පසුගිය කාලයේ ජනතාව නිවෙස්වලට කොටුවී සිටි හෙයින් තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වෙනුවෙන් ශාරීරික ව්‍යයෑම්වල නිරතවීමට නොහැකි විය. මෙම තත්ත්වයෙන් මඟ හැරීම සඳහා නොයෙක් ක්‍රියාකාරකම්වල යෙදීමේ අවශ්‍යතාව මත මෙවැනි වැඩසටහන් සම්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සුළු පරිමාණ ව්‍යාපාරිකයන් විසින් තුරඟ තරග පිටියේ පවත්වාගෙන යන කුඩා වෙ‍ෙළඳ පොළක් ද මෙහිදී රාත්‍රී වනතුරු පැවැත්වෙන අතර, පාපන්දු පුහුණු සැසියක් ද සංවිධාන වේ. එබැවින් පවුලේ සියලු දෙනාට මෙම වැඩ සටහනට එක්වීමේ හැකියාව පවතින බව ඇමැතිවරයා පැවැසීය.‘සෑම ඉරිදාවකම කිඹුලාගල සිට කොළඹට විශේෂ මංතීරුවක් ‘පාපැදි ඉරිදා’ වැඩ සටහන අති සාර්ථකව දැන් ක්‍රියාත්මක වෙනවා. එය ඉතා ආකර්ෂණීයව සති තුනක් ක්‍රියාත්මක වුණා. එය ඉදිරියේදී රටපුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ‘පාපැදි ඉරිදා’ වැඩසටහන ඉදිරි දිනවලත් හවස 4 සිට 7 වනතුරු ක්‍රියාත්මකයි. මේ ‘පාපන්දු සිකුරාදා‘ දෙවැනි අදියරේ වැඩ සටහනයි. ක්‍රියාශීලී සමාජයක් උදෙසා පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමත් ජනතාවගේ සෞඛ්‍ය නඟා සිටුවීමත් සිදු වෙනවා. ඒ නිසා පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන ජනතාවට පුළුවන් තමන්ට ආසන්නයේ ඇති ක්‍රීඩා පිටියේ ‘පාපන්දු සිකුරාදා’ වැඩ සටහනට එක්වන්න. මා හිතනවා වැඩි කලක් නොගොස් මේ ක්‍රීඩාව රටපුරා සෑම සිකුරාදාවකම පවත්වන්න හැකියාව ලැබෙයි කියා’ නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම වැඩ සටහන යම් කලක් ක්‍රියාත්මක කිරීමේදී පාපන්දු ක්‍රීඩාවට මිලියන දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම තම ඉලක්කය බව ඇමැතිවරයා සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා හා ලේකම් යූ. එල්. ජස්වර් ද එක් වූහ. ‘පාපන්දු සිකුරාදා’ වැඩ සටහනට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හා සිලෝන් ප්‍රොපෙෂනල් ස්පෝට්ස් මැනේජ්මන්ට් ආයතනයේ දායකත්වය ලැබී තිබේ.