Language Switcher

V2025

හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී !

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව හිටපු අමාත්‍ය රවී කරුණානායක සිදුකරන විවේචනය සමාන වන්නේ මුහුණත් සමඟ තරහට නහය කපා ගැනීමක් වැනි ක්‍රියාවකට බව දේශපාලන - ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන වල යෝජනා ඒ ලෙසම ක්‍රියාත්මක කිරීමට යාම බවට හිටපු අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහසට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

හිටපු ඇමති රවීගේ විවේචනය

කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන ලෙස කටයුතු කිරීම වෙනුවට ජනතාව පිළිගත් දේ කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවය.

එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබිය යුතු දේ මේ වන විටත් ලබාගෙන අවසන් බැවින් දැන් එම ආයතනයේ කල් ඉකුත්වී ඇති බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

එබැවින් අදාළ ආයතන කියනදේට ඇහුම්කන් දුන්නත් ඔවුන් කියන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

තවද බැංකු පොළී අනුපාතය වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතුද හිටපු අමාත්‍යවරයා එහිදී විවේචනය කර සිටියේය.

කෙසේ වුවත් හිටපු අමාත්‍යවරයාගේ අදහසට ප්‍රතිචාර දක්වමින් දේශපාලන - ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව තමන් අඩුපාඩුවක් නොදකින බවත් එහි ගැටළුවකට ඇත්තේ එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම පමාවීම සම්බන්ධව වන බවත්ය.

මධ්‍ය කාළීන ආර්ථික ප්‍රතිපත්ති රාමුව සහ 2025 පොහොසත් රටක් දැක්ම වැදගත්

එසේම රටේ පවතින ආර්ථික අවධානම හමුවේ ඊට මුහුණදීම සඳහා වැදගත් තීන්දු තීරණ සහ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කළ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ සහ 2025 පොහොසත් රටක් වැඩ සටහනේ අන්තර්ගත බවත් අවශ්‍ය වන්නේ නියමිත කාලරාමුවට එය ක්‍රියාත්මක කිරීම බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම ව්‍යවසායක ආර්ථිකයක් බිහිකිරීම ඇතුළුව මෙරට ඉතිහාසයේ අතිශය තීරණාත්මක අයවැයක් 2018 වර්ෂයට අදාළව ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකිවූ බවත් ඊට පෙර වත්මන් ආණ්ඩුවේ අයවැය විවේචනය කළ විද්වතුන් පවා මෙවර අයවැය සාධනීය ලෙස භාරගත්තේ ඒ තුළ පැවති ප්‍රතිපත්තිමය කරුණු වල වැදගත්කම නිසා බවද ඔවුන් සඳහන් කරයි.

එසේම ප්‍රාග්ධනය ගෝලීයකරණය වූ සමාජයේ එක් රටක් හෝ දුපතක් ඉලක්ක කර විශේෂ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල නොහැකි බවත් ලෝක ප්‍රවණතා අනුව ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට උත්සාහ කිරීම ජාත්‍යන්තර අරමුදලේ හෝ වෙනත් ආයතනයක යෝජනා ක්‍රියාත්මක කිරීමක් ලෙස හැඳින්වීම වැරදි බවද ඔවුන් පෙන්වා දෙයි.

රවීගෙන් වැඩක් ගන්න

කෙසේ වුවත් හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ හැකියාව සහ සංවිධාන ශක්තිය වත්මන් ආණ්ඩුව හරිහැටි ගෙන නොමැති බවත් ඒ තුළ ඔහුට මෙන්ම ආණ්ඩුවටද දේශපාලන වශයෙන් අසාධාරණයක් සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එහෙයින් විපක්ෂයේ විවේචන මත ආණ්ඩුවේ සිටින දක්ෂයින් දේශපාලන ලෙස කොන් නොකර ඔවුන්ගේ හැකියාවෙන් රටටත් ආණ්ඩුවටත් ඵලදායී ලෙස ඔවුන් යොදාගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ඒ පිළිබඳ උනන්දු නොවීම තුළ ආණ්ඩුවද කටයුතු කරන්නේ මුහුණත් සමඟ තරහට නහය කපා ගැනීමක් වැනි ආකාරයට බවද දේශපාලන - ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.